බල්බ් මාරු කරන්න විදුලි කාර්මිකයන් දෙන්නෙකුට මාසෙට ලක්ෂ 20ක් ගෙවලා - ගාල්ල රෝහලෙන් වාර්තා වන විගණන හෙළිදරව්ව මෙන්න
ගාල්ල ජාතික රෝහලේ විදුලි නඩත්තු කටයුතු සඳහා සේවයේ යොදවා සිටි විදුලි කාර්මිකයින් දෙදෙනෙකු වෙනුවෙන් මාසයකට රුපියල් මිලියන 2.04ක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
අදාළ විගණන වාර්තාවට අනුව, මෙම විදුලි කාර්මිකයින් දෙදෙනාට සාමාන්‍ය දිනයක රාජකාරි සඳහා රුපියල් 30,024ක මුදලක් ද ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල රාජකාරි සඳහා රුපියල් 45,036ක මුදලක් ද ගෙවා ඇත.
කෙසේ වෙතත්, ඔවුන්ගේ රාජකාරි සහ ගෙවීම් සම්බන්ධයෙන් විධිමත් ලිඛිත ගිවිසුමක් නොතිබූ බව විගණනයේදී අනාවරණය වී තිබේ.
එමෙන්ම, පැයකට රුපියල් 1,251ක ගෙවීම් අනුපාතය තීරණය කළ පදනම පිළිබඳ තොරතුරු ද විගණනයට ඉදිරිපත් කර නොමැති බව වාර්තාවේ සඳහන් වේ.
2025 වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සිදුකර තිබූ විදුලි නඩත්තු කටයුතුවලින් සියයට 90කට වැඩි ප්‍රමාණයක් සුළු විදුලි නඩත්තු කටයුතු බව ද විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත.
එම කාලසීමාව තුළ මාසික නඩත්තු කටයුතුවලින් බල්බ සවිකිරීමේ කටයුතු සියයට 8ත් සියයට 58ත් අතර ප්‍රතිශතයක් ගෙන තිබූ බව ද අනාවරණය වී තිබේ.
රෝහලේ නඩත්තු අංශයටම සිදුකළ හැකිව තිබූ මෙවැනි සුළු නඩත්තු කටයුතු සඳහා විදුලි කාර්මිකයින් දෙදෙනෙකු වෙනුවෙන් මාසිකව රුපියල් මිලියන 2.04ක මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් නිෂ්කාර්ය ලෙස වැයවීමට ඉඩ සැලසී ඇති බව විගණනය මගින් පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් විගණනයට කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ රෝහලේ ස්ථිර විදුලි තාක්ෂණ නිලධාරියෙකු හෝ කාර්මික ශිල්පීන් නොමැති බැවින් හදිසි විදුලි නඩත්තු කටයුතු සහ ප්‍රධාන විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමේ වගකීම ලංකා විදුලිබල මණ්ඩලයට පවරා තිබූ බවයි.
කෙසේ වෙතත්, මේ වනවිට අදාළ විදුලි නඩත්තු සේවාව විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් යටතේ පෞද්ගලික අංශයට පවරා ඇති බව ද රෝහල් බලධාරීන් සඳහන් කර තිබේ.
විදුලි නඩත්තු සේවා විධිමත් ගිවිසුම් සහ පිරිවැය ඵලදායිතාව මත ක්‍රියාත්මක කළ යුතු බවට ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළව 2025 වර්ෂය සඳහා නිකුත් කළ වාර්ෂික විගණන වාර්තාව මගින් මෙම කරුණු අනාවරණය කර තිබේ.