අනෙක් රටවලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉතා අඩුයි - ජනතාවට දරාගත හැකි මට්ටමකට සීමා කළා - ඛනිජ තෙල් සංස්ථා සභාපති
වත්මන් ආණ්ඩුව යටතේ ඒ ඒ ඉන්ධන වර්ගය සඳහා රජයෙන් පනවා ඇති බදු ප්‍රමාණය පිළිබඳ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් කරුණු හෙළිදරව් කළේය.
ඔහු පැවසුවේ, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකට රුපියල් 115ක බද්දක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකට රුපියල් 143ක බද්දක් සහ ඩීසල් ලීටරයකට රුපියල් 91ක බද්දක් පවතින බවයි.
මේ අතර අනෙක් රටවලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉතා අඩු ප්‍රමාණයකින් මෙවර ඉහළ දැමූ බවත්, එය ජනතාවට දරාගත හැකි මට්ටමක් බවත් රාජකරුණා මහතා ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, 8%ක ඉන්ධන මිල වැඩිවීමක් සිදුකරන විට ලෝක වෙළෙඳපොළේ ඩීසල් මිල 100%කින්, පෙට්‍රල් මිල 80%කින් සහ බොරතෙල් මිල දැඩි ලෙස ඉහළ ගොස් තිබූ බවයි.
ඉන්ධනවලින් අයකරන බදු සම්පූර්ණයෙන් රජයට ලැබෙන බැවින්, තවදුරටත් ඉන්ධන මිල ඉහළ ගියහොත් එම බදු ප්‍රමාණයන් අඩුකර ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් රජය දැනටමත් සාකච්ඡා කරමින් සිටින බව ද ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.