ප්‍රංශ නැව් හෝමුස් හරහා ආරක්ෂිතව ගමන් කරයි
ප්‍රංශය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ඉරානයට සහාය පළ කිරීමත් සමඟ, ප්‍රංශයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව යාත්‍රා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරාන යුද්ධය ආරම්භ වීමෙන් පසු හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ පළමු යුරෝපා නෞකාව මෙය වන අතර, එම නෞකාව සමඟ ඕමානයට අයත් ඉන්ධන ප්‍රවාහන නෞකා තුනක් ද ආරක්ෂිතව ගමන් කර තිබේ.
මෝල්ටා ධජය යටතේ යාත්‍රා කළ මෙම නෞකාව ප්‍රංශ සමාගමක් විසින් මෙහෙයුම් සිදු කරනු ලබන්නකි.
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කර ගැනීම සඳහා ඉරානයට එරෙහිව හමුදා බලය භාවිත කිරීමට අවසර ඉල්ලා බහරේනය විසින් ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රංශය, රුසියාව සහ චීනය සිය විරෝධය පළ කර ඇත.
ආරක්ෂක කවුන්සිලයේ නිශේධ බලය හිමි මෙම රටවල් විරුද්ධ වීම හේතුවෙන්, පසුගිය 3 වැනිදා පැවැත්වීමට තිබූ ඡන්ද විමසීම කිහිප වරක් කල් ගිය අතර මේ වන විට එය මෙම සතිය දක්වා දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
ගල්ෆ් රටවල සහ අමෙරිකාවේ සහාය ඇතිව ඉදිරිපත් වූ මෙම යෝජනාව මගින් අපේක්ෂා කළේ සමුද්‍ර සන්ධිය විවෘත කර ගැනීම සඳහා රටවල් වලට තනි තනිව හෝ ඒකාබද්ධව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට අවසර ලබා ගැනීමයි.
කෙසේ වෙතත්, වර්තමාන තත්ත්වය යටතේ ප්‍රංශය, ජපානය, ඕමානය සහ ඉරාකය යන රටවලට අයත් නෞකාවලට පමණක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමේ හැකියාව ලැබී ඇති බව වාර්තා වේ.