සංචාරක වීසාවලින් රැකියාවලට යාම අද සිට අත්හිටුවයි..

Sri Lanka
By Aruna Nov 11, 2022 07:02 AM GMT
Aruna

Aruna

Report

සංචාරක වීසා මගින් ගෘහස්ථ හා නුපුහුණු ක්ෂේත්‍රයන්හි රැකියා සඳහා නියෝජිතායතන හා පෞද්ගලික මාර්ගයෙන් කාන්තාවන් විදේශවලට යොමුකිරීම වහා ම ක්‍රියාත්මක වන පරිදි අද (11) සිට අත්හිටුවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

පසුගිය කාලය තුළදී සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා යොමු වූ කාන්තාවන් විවිධ හිරිහැරයන්ට පත්ව ඇති බව ත් ඔවුන් වැඩි වශයෙන් ඕමාන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවලට යොමුවූවන් බවත් එම කාර්යාංශය සඳහන් කරයි.

රැකියා නොමැතිව අතරමංව සිටින කාන්තාවන්ගේ වගකීම භාර ගැනීම සඳහා කිසිදු ආයතනයක් හෝ පුද්ගලයෙකු ඉදිරිපත් නොවන බැවින් එම කාන්තාවන් විවිධ හිරිහැරයන්ට පත්ව සිටින බවට එරටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල දැනුම් දී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එවැනි කාන්තාවන් නැවත මෙරටට ගෙන්වීමේදී ගැටලු පැන නැගී ඇති බවත් ඒ අනුව සංචාරක වීසා මගින් නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් යොමු කිරීම අත්හිටුවීමට පියවර ගත් බවත් එම කාර්යාංශය පෙන්වා දෙයි.

මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා ගත වූ කාලය තුළ සංචාරක වීසා උපයෝගි කරගනිමින් නීති විරෝධී ලෙස රැකියා සඳහා විදේශගත වීමට උත්සාහ කළ පුද්ගලයන් 586 දෙනෙකු ලියාපදිංචි නොකර ආපසු හරවා යැවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

ජනවාරි සිට ඔක්තෝබර් මාසය දක්වා විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් හා ආයතන 570ක් සම්බන්ධයෙන් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත පැමිණිලි ලැබී තිබෙන අතර ඉන් පැමිණිලි 182ක් සඳහා අධිකරණ ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇත.

එසේ වංචනික ලෙස අය කරගනු ලැබූ රු. 28,383,000.00ක මුදලක් පැමිණිලිකරුවන් වෙත ලබා දීමට කාර්යාංශය පියවර ගෙන තිබේ.

විදේශ රැකියා වංචනික සිදුවීම් සම්බන්ධයෙන් කාර්යාංශය වෙත කරන ලද පැමිණිලිවලට අදාළව වැටලීම් 17ක් සිදු කර ඇති අතර සැකකරුවන් 43 දෙනෙකු අත්අඩංගුවට ගෙන අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now