දරුණු ගං වතුර තත්ත්වයක් - දික්ඔය වතු නිවාස 50ක් ජලයෙන් යට වෙයි
By Mithu
හැටන් දික්ඔය ප්‍රදේශයට අද (21) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් දික්ඔය ෆෝඩයිස් වතුයායේ පහත්බිම්වල පිහිටි වතු නිවාස 50ක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබේ.
හැටන් පොලිසිය සඳහන් කළේ, අදාළ වතුයාය හරහා කාසල්රි ජලාශයට ජලය ගලා බසින 'දික්ඔය ඇළ' පිටාර ගැලීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.
ගංවතුර තත්ත්වය හේතුවෙන් හැටන් - ෆෝඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගය ද ජලයෙන් යට වී ඇති අතර, ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත.
විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු ප්‍රදේශවාසීන් සහ අදාළ බලධාරීන් විසින් මේ වන විටත් ආරම්භ කර ඇති අතර, වර්ෂාව තවදුරටත් පැවතුනහොත් ජල මට්ටම තවත් ඉහළ යා හැකි බවට පොලිසිය අනතුරු අඟවයි.