බාලවයස්කාර දැරියක අපයෝජන කිරීමේ සිද්ධියට අදාළව, පල්ලේගම හේමරතන හිමිට එරෙහිව නියෝගයක්

Report

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනය කරන ලද බව කියන සිද්ධියට අදාළව පොලිසිය විසින් සිදු කරන විමර්ශන පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව නිරන්තර විමසිල්ලෙන් සහ දැඩි අධීක්ෂණයෙන් පසුවන බව නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ අධිනීතිඥ කේෂානි විජේසිංහ මෙනවිය විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

මෙම ආන්දෝලනාත්මක සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා ඉදිරියේ අද (26) වනදා කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පළමු වරට නිල වශයෙන් පෙනී සිටිමින් රජයේ අධිනීතිඥවරිය මේ බව අවධාරණය කළාය.

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්

පවතින කාලගුණයේ වෙනසක් - පාසල් වසා තැබීමට රජයෙන් තීරණයක්

මෙම අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නිට්ටඹුව මූලස්ථාන පොලිසියෙන් විමර්ශනවල පවතින වත්මන් ප්‍රගතිය පිළිබඳව විවෘතව විමසා සිටි අතර ඊට ප්‍රතිචාර දක්වමින් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී එම් අනුර ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ මුල් DNA පරීක්ෂණයට අදාළ නිල වාර්තාව දැනටමත් ලැබී ඇති බවත් දෙවන DNA පරීක්ෂණ වාර්තාව ඉදිරියේදී ලැබීමට නියමිතව පවතින බවත්ය.

විමර්ශනවලට අදාළව සැකකාර හිමිනමගේ ද වින්දිත දැරියගේ සහ වින්දිත දැරියගේ මවගේ ද ජංගම දුරකථන සම්බන්ධයෙන් විශේෂ දුරකථන විශ්ලේෂණ වාර්තා ලබාගෙන ඒවා දැනටමත් අධිකරණයට නිල වශයෙන් භාර දී ඇති බව ද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එහිදී සඳහන් කළේය.

එමෙන්ම සිද්ධියට අදාළව තවදුරටත් පුළුල් විමර්ශන සිදු කෙරෙන බව අධිකරණයට දැනුම් දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරි විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සඳහන් කළේ මෙම සිද්ධිය තවමත් මූලික විමර්ශන අවධියේ පවතින නිසා ඒ පිළිබඳව විශේෂ කරුණු දැක්වීමක් සිදු කිරීමට තමන් මේ අවස්ථාවේදී අපේක්ෂා නොකරන බවයි.

මේ අතර අපයෝජනයට ලක්වූ දැරිය මේ වන විට විධිමත් මනෝ උපදේශනය සඳහා යොමු කරමින් ඉතාමත් යහපත්ව හා ආරක්ෂිත ලෙස පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ රඳවා සිටින බව වින්දිත දැරිය අධීක්ෂණය කරන පරිවාස නිලධාරිනිය අධිකරණය හමුවේ සඳහන් කළාය.

එහිදී දැරිය දැනට රඳවා සිටින රහසිගත ස්ථානය පිළිබඳව විවෘත අධිකරණයේ හෙළි කිරීමට පරිවාස නිලධාරිනිය උත්සාහ කළ අවස්ථාවේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇයට වහාම දැනුම් දුන්නේ දැරියගේ ආරක්ෂාව වෙනුවෙන් ඇය රඳවා සිටින ස්ථානය කිසිසේත් හෙළි නොකරන ලෙසයි.

සියලු පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාළව ඉදිරියේදී නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙසට නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කරමින් නඩුව එළඹෙන අගෝස්තු මස 21 වන දින යළි කැඳවීමට නියෝග කළේය.

මෙම නඩුවේ පළමු සැකකරු වන පල්ලේගම හේමරතන හිමියන් සහ දෙවන සැකකාරිය වන වින්දිත දැරියගේ මව ද අද දින අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මුළු දිවයිනටම වලංගු විශේෂ නිවේදනයක් - හෙට සිට දවස් තුනක් යනතුරු ක්‍රියාත්මකයි රජයෙන් දැනුම්දීමක්

මුළු දිවයිනටම වලංගු විශේෂ නිවේදනයක් - හෙට සිට දවස් තුනක් යනතුරු ක්‍රියාත්මකයි රජයෙන් දැනුම්දීමක්

එමෙන්ම අනුරාධපුර වැඩබලන අටමස්ථානාධිපති සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමි අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤาනන්ද හිමි අභයගිරිය චෛත්‍යාරාමාධිපති මහාචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමි ලංකාරාමාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමි සහ ථූපාරාමාධිපති ඥානින්ද හිමි යන නායක හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ද මෙම නඩු විභාගය දැක බලා ගැනීම සඳහා විවෘත අධිකරණ ශාලාවේ අසුන්ගෙන සිටියහ.