"රෑ විතරක් චාජ් කරලා මදි" - රට පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන හදන්න UNDP සහ ලංකා රජය එකතු වෙයි
විදුලි වාහන සඳහා අවශ්‍ය ආරෝපණ යටිතල පහසුකම් පුළුල් කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කර ඇති බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කාම් ඉලියාස් අද (26) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත්, 2025 වසරේදී ශ්‍රී ලංකාවට විදුලි වාහන ආනයනය ඉහළ යාම සහ රජයේ වාහන ඇණියෙන් සියයට 5ක් විදුලි වාහන බවට පත් කිරීමේ සැලැස්මට සමගාමීව මෙම වැඩපිළිවෙළ දියත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
විදුලි වාහන රාත්‍රී කාලයේ පමණක් ආරෝපණය කිරීම ප්‍රමාණවත් නොවන බැවින්, දිවා කාලයේද පහසුවෙන් ආරෝපණය කළ හැකි පහසුකම් රට පුරා ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඒ අනුව, ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළෙඳසැල්, රථගාල්, කාර්යාල සංකීර්ණ සහ රෝහල් ඇතුළු වාහන දිවා කාලයේ වැඩි වශයෙන් නවතා තබන ස්ථානවල විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ විදුලි වාහන ආරෝපණ යටිතල පහසුකම්වල පවතින හිඩැස් පිරවීම, පොසිල ඉන්ධන මත යැපීම අවම කිරීම සහ විදුලි පරිභෝජනයේ උපරිම ඉල්ලුම රාත්‍රී කාලයේ සිට දිවා කාලයට මෙගාවොට් 100ත් 200ත් අතර ප්‍රමාණයකින් මාරු කිරීම බව අර්කාම් ඉලියාස් වැඩිදුරටත් සඳහන් කළේය.