වැස්සෙන් ගංගා පහක ජල මට්ටම් ඉහළට - නිල්වලා ගඟට සුළු ගංවතුර තත්ත්වයක්
නිල්වලා ගඟේ පානදුගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් වාර්තා වී ඇති අතර, තවත් ගංගා හතරක ජල මට්ටම් අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අද (08) පෙරවරු 6.30ට නිකුත් කළ දිවයිනේ ගංගාවල ජල මට්ටම් සහ වර්ෂාපතන තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව, නිල්වලා ගඟේ පානදුගම ප්‍රදේශයේ ජල මට්ටම මීටර් 6.05ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එය සුළු ගංවතුර මට්ටම ලෙස සැලකෙන මීටර් 6.00 සීමාව ඉක්මවා යාමක් වන අතර, එම ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව ද වාර්තා වේ.
මේ අතර, තවත් ගංගා ස්ථාන හතරක ජල මට්ටම් අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතී.
ඒ අනුව,
කුඩා ගඟ - කලවැල්ලාව (මිල්ලකන්ද): මීටර් 5.14ක්(ඉහළ යමින් පවතී)
මගුරු ගඟ - මගුර: මීටර් 4.31ක් (පහළ යමින් පවතී).
වලවේ ගඟ - මොරකැටිය: මීටර් 3.70ක් (පහළ යමින් පවතී).
අත්තනගලු ඔය - දූනමලේ: මීටර් 3.75ක් (පහළ යමින් පවතී).
කෙසේ වෙතත්, කැලණි, කළු, ගිං, කිරින්දි, මැණික්, කුඹුක්කන්, හැඩ, මාදුරු, මහවැලි, යාන්, මා, මල්වතු, මී, දැදුරු සහ මහ ඔය යන ගංගා ද්‍රෝණිවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයේ පැවති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර, පසුගිය පැය 21ක කාලය තුළ වාර්තා වූ වර්ෂාපතන ප්‍රමාණයන් අතරින් කැලණි ගඟ ද්‍රෝණියේ ග්ලෙන්කෝස් ප්‍රදේශයට මිලිමීටර් 72.9ක වර්ෂාපතනයක් ද, කළු ගඟ ද්‍රෝණියේ රත්නපුර ප්‍රදේශයට මිලිමීටර් 79.2ක වර්ෂාපතනයක් ද ලැබී තිබේ.
එමෙන්ම ගිං ගඟ ද්‍රෝණියේ තවලම ප්‍රදේශයට මිලිමීටර් 80.8ක වර්ෂාපතනයක් සහ නිල්වලා ගඟ ද්‍රෝණියේ පිටබැද්දර ප්‍රදේශයට මිලිමීටර් 72.5ක වර්ෂාපතනයක් ලැබී ඇත.
පවතින තත්ත්වය හමුවේ ගංවතුර අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවන ලෙසත්, අදාළ බලධාරීන් විසින් නිකුත් කරන ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.