බෙංගාල බොක්කේ අලුත් කැළඹීමක් - පීඩන අවපාතයක් ඇතිවීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්
ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ඉදිරි දින කිහිපය තුළ කැළඹිලි සහිත කාලගුණ තත්ත්වයක් වර්ධනය වීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ඒ අනුව, නොවැම්බර් 11 වැනිදා පමණ වන විට එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව කැළඹිලි තත්ත්වයක් ඇතිවිය හැකි බවත්, එය නොවැම්බර් 13 වැනිදා පමණ වන විට අඩු පීඩන කලාපයක් බවටත්, නොවැම්බර් 15 වැනිදා පමණ වන විට පීඩන අවපාතයක් බවටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවත් එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළාය.
එබැවින් අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වන පිරිස් මේ පිළිබඳව විශේෂ අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී තිබේ.
දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි
මේ අතර, අද (08) දිනයේදී ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බව උදේනි වීරසිංහ මහත්මිය සඳහන් කළාය.
උදෑසන කාලයේදී ද ඇතැම් ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං ඇතිවීමේ හැකියාව ද පවතී.
එබැවින් අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
මුහුදු ප්‍රදේශවලත් තද සුළං
මේ අතර, අද දිනයේදී දිවයින වටා මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
සාමාන්‍යයෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ත් 30ත් අතර පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වේගයකින් තාවකාලික තද සුළං හැමිය හැකි බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ඒ අනුව, ඉදිරි දිනවලදී මුහුදු ප්‍රදේශවල පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.