මෙරට පිරිසක් අඛණ්ඩ උපවාසයක් අරඹයි

sri lanka Corona virus Covid 19 Fertilizer
By Sithumi Oct 24, 2021 03:25 PM GMT
Sithumi

Sithumi

Report

මෙවර මහ කන්නයට අවශ්‍ය රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක ලබාදෙන ලෙස රජයට බල කරමින් ඇලහැර ව්‍යාපාරයේ ගොවි සංවිධාන නියෝජිතයින් අද (24) අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ.

එය වත්මන් පොහොර අර්බුදය හමුවේ ඇරඹි පළමු උපවාසයයි. මොරගහකන්ද කලාපයේ ඇලහැර ව්‍යාපාරයේ රාජ්‍ය ගොවි සංවිධාන එකමුතුවට අයත් ගොවි සංවිධාන 41ක ගොවීන් මේ සඳහා එක්විය. 

 බකමූණ නගරයේ සිට පාගමනින් පැමිණි ගොවීන් මෙම උපවාසය ආරම්භ කළේ මහියංගණය - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ බකමූණ නගරයට යාබදවය. එහිදී ගොවීන් සඳහන් කළේ, "හෙට පොහොර දුන්නොත් අපි අනිද්දා වගා කටයුතු ආරම්භ කරනවා," යනුවෙනි. 

 මේ අතර ඉන්දියාවෙන් ගෙනා නැනෝ නයිට්‍රජන් දියර පොහොර කැබිතිගොල්ලෑවේ ගොවීන් සඳහා බෙදාදීම අද ආරම්භ කෙරුණි. නමුත් පොහොර අර්බුදය හමුවේ අදත් ප්‍රදේශ කිහිපයකම විරෝධතා සංවිධාන කර තිබුණි. 

මිණිපේ වම්ඉවුර ගොවි පදනම හා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය එක්ව රසායනික පොහොර ඉල්ලා සංවිධාන කළ උද්ඝෝෂණයක් අද පැවැත්වුණේ විල්ගමුව නගරයේදීය. තංගල්ල වීරකැටිය ඌරුබොකු ඔය ව්‍යාපාරයේ ගොවීන් රසායනික පොහොර ඉල්ලා අද උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණි. 

 වීරකැටිය - මිද්දෙණිය මාර්ගය ඔස්සේ ගොවීන් පාගමනින් මැදමුලන මංසන්ධිය දක්වා ගමන් කිරීමට උත්සාහ කළත් මාර්ගය පොලිස් මාර්ග බාධක යොදා අවහිර කර තිබුණි. එහිදී පොලිස් නිලධාරීන් වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයක් ද ගොවීන් වෙත ඉදිරිපත් කළේය. මේ හේතුවෙන් ගොවීන් ප්‍රධාන මාර්ගයේ උද්ඝෝෂණයේ නිරත වුණි. 

 පොළොන්නරුව මහවැලි බී කලාපයේ ගොවීන්ද අද වැලිකන්ද රුහුණුකෙත ප්‍රදේශයේදී උද්ඝෝෂණයක නිරත විය. මේ අතර අනුරාධපුරයේ ගොවි සංවිධාන නියෝජිතයින් හා සමගි ජන බලවේගය එක්ව සංවිධාන කළ උද්ඝෝෂණයක් අද අනුරාධපුරය - යාපනය ප්‍රධාන මාර්ගයේදී පැවැත්වුණි. බදුල්ල රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඌරණිය, රිදීමාලියද්ද, යෝධමාන ප්‍රදේශවල ගොවි ජනතාව හා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය එක්ව ඌරණිය මහයාය වෙල්යායේදී ද උද්ඝෝෂණයක නිරත වුණි. 

 තේ වගාවට රසායනික පොහොර ඉල්ලා කුඩා තේ වතු හිමියන් සංවිධාන කළ උද්ඝෝෂණයක් ගාල්ල තවලම මංසන්ධියේදී පැවැත්විය. රසායනික පොහොර නොමැතිකමින් කුරුඳු වගාවට ද බලපෑම් එල්ල වී ඇති බව කරන්දෙණිය කුරුඳු සහ සුළු අපනයන භෝග වගාකරුවන්ගේ සුබසාධක සමිතිය පෙන්වා දෙයි. මේ අතර පෑලියගොඩ මැනිං වෙළෙඳපොළට ලැබෙන උඩරට හා පහතරට එළවළුවල මිල ගණන් පසුගිය අගෝස්තු හා සැප්තැම්බර් මාසවලට වඩා 50%කින් පමණ මිල ඉහළ ගොස් ඇති බවද වාර්තා වෙයි. 

මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා ප්‍රථම කාබනික පොහොර තොගය නිකුත් කිරීමේ උත්සවය කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පවත්වා තිබුණි. හෙක්ටයාර 2,000ක් සඳහා කාබනික පොහොර ලබාදීම මෙහිදී සිදුකෙරිණි.


මම ලිංගික ශ්‍රමිකයකු ගේ චරිතයක් රඟපාන්න කැමතියි ජනප්‍රිය රංගන ශිල්පිනියක් කියූ වෙනස්ම කතාව - වීඩියෝ පහතින් නරඹන්න  
මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න ගගන youtube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්