තිදරු පියාව සවලකින් හා ඉදලකින් පහරදී ඝාතනය කෙරූ අඹු සැමි යුවළක් මාට්ටු
අපහාස කළායැයි ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් පසු 51 හැවිරිදි තිදරු පියෙක් සවලකින් හා ඉදලකින් පහරදී ඝාතනය කළැයි කියන අඹු සැමි යුවළක් සැකපිට අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය ප්‍රකාශ කරයි.
මේ ආකාරයෙන් මිය ගොස් ඇත්තේ හල්කඳවිල, යොවුන්ගම පදිංචිව සිටි කිරඹ ගණිතගේ නිමල් සේනාරත්න (51) නමැති පුද්ගලයෙක්.
මිය ගිය අයගේ මව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබුණි. ඉකුත් 03 වැනිදා රාත්‍රී 7.30 ට පමණ මෙම පහරදීම සිදු වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව 08 වැනිදා උදේ 6.30 ට පමණ ඔහු නාන කාමරයේ ලේ වමනය දමමින් සිටි අතර ඔහුව නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දහවල් ඊයේ (08) දහවල් 11.00 ට පමණ මිය ගිය බවත් පොලිසියට කෙරූ පැමිණිල්ලේ සඳහන්.
සිද්ධිය වූ ස්ථාන පරීක්ෂාව සඳහා කළුතර වැඩබලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා ඊයේ (08) එම ස්ථානයට ගොස් තිබුණි.
පයාගල පොලිසිය මේ පිළිබඳව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබූ අතර සැකකාර යුවළ අද (09) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිනී වීරසූරිය සහ කළුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උදයකුමාර යන නිළධාරීන්ගේ උපදෙස් මත පයාගල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගයාන් ක්‍රිශාන්ත ඇතුළු නිළධාරීන් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වයි.