ජනපතිට එරෙහිව ගොවියකුගෙන්-නිතිඥවරු ‌දෙදෙනකුගෙන් පෙත්සමක්

By Sithumi Apr 29, 2022 01:48 PM GMT
Sithumi

Sithumi

Report

රසායනික පොහොර සම්පූර්ණයෙන් තහනම් කර අත්තනෝමතික ලෙස කාබනික පොහොර භාවිතයට නියම කිරීම තුළින් ගොවි ජනතාව ඇතුළු ජන ජීවිතය අඩාල කිරීම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි සඳහන් කර ඊට වගකිව යුත්තන්ගෙන් වන්දි ලබා දෙන ලෙස ඉල්ලා ගොවියකු සහ නිතිඥවරුන් දෙදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් අද (29) ගොනු කර ඇත.

නීතීඥ තාරක නානායක්කාර, නිතීඥ එරන්ග වැලිඅංග සහ කොටගොඩ ගොවි සම්මේලනයේ ලේකම් විජයතුංග අමරදිවාකර යන මහත්වරුන් විසින් ගොනුකරනු ලැබ ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම්කර ඇත්තේ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු අධ්‍යාපන අමාත්‍ය රමේෂ් පතිරණ, මහාචාර්ය උදිත ජයසිංහ,රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණීය යන මහ්වරුන්ය. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 28ක්ම සෘජුවම කෘෂි කර්මාන්තයෙන් ජීවත් වන අතර සියයට 40කට වැඩි පිරිසක් වක්‍රව කෘෂි කර්මාන්තයෙන් ජීවත් වන බව පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් දක්වා ඇත.

රසායනික පොහොරවල අඩංගු පොස්පරස් පොටෑසියම් සියලුම කෘෂි භෝග වගාවන්ට අත්‍යාවශ්‍ය අංගයන් බවත්, 1960 දශකයේ ඇරඹුණු හරිත විප්ලවය සදහා මෙම රසායනික පොහොර හදුන්වා දුන් බවත්, පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් ඉදිරිපත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභ්‍යාගයේ දැක්ම ප්‍රතිපත්තිය තුළ වසර 10ක කාලයක් තුළ කාබනික පොහොර භාවිතයට මුළු රටම පරිවර්ථනය කරන බවට ප්‍රතිඥා ලදී ඇති බවත්, මෙම වැඩපිළිවෙල යටතේ රසායනික පොහොර භාවිතය සම්පූර්ණයෙන් තහනම් කළ බවත් පෙත්සම්කරුවෝ සිය පෙත්සම්වලින් දක්වා ඇුත.

මේ හේතුවෙන් පූර්ණකාලීනව කෘෂි කර්මාන්තයේ යෙදෙන පිරිස්වල ජීවිකාවට මරු පහරක් එල්ල වූ අතර,  රසායනික පොහොර තහනම් කිරීම පිළිබදව කිසිදු විශේෂඥයකුගේ උපදෙස් ලබාගැනීමක් හෝ සිදුකර නොමැති බව ද පෙත්සම්කරුවෝ පෙත්සමෙන් දක්වා තිබේ. රසායනික පොහොර තහනම් කර කාබනික පොහොර භාවිතය පිළිබද විධිමත් වැඩ පිළිවෙළක් නොවූයෙන් කාබනික පොහොර චීන රජයෙන් ගෙන්වීමට සිදුවූ බවත්, මෙයට මහජන විරෝධය එල්ලවූ බැවින් රසායනික පොහොර තහනම ලිහිල් කිරීමට රජය පියවර ගෙන ඇති බවත් පැමිණීලිකරුවන් සදහන් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now