සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වන අසත්‍ය පුවතක් ගැන දැනුම්දීමක්
කුරුණෑගල ශික්ෂණ රෝහලේ 09 නිවුන් දරු උපතක් සිදුව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව රෝහල් පාලනාධිකාරිය සදහන් කර තිබේ.
මේ මාසයේ අවස්ථා දෙකකදීම මේ පුවත සමාජ මාධ්‍ය ඔස්සේ ඒඅයි තාක්ෂණය මඟින් සකසන ලද අසත්‍ය රූපරාමු සහිතව පළකර තිබූ අතර, ජනතාව මේ පුවත සත්‍යයක් ලෙස සලකමින් විමසීම් කරන බව ද වාර්තා විය.
මීට සතියකට පමණ ඉහතදී මේ නව නිවුන් දරු උපත පිළිබඳව තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළමු වරට පළ වූයේ මෙරට ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියකගේ නමින් වේ .
එහිදී වසර එකොළහකට ආසන්න කාලයක් දරුවන් නොමැතිව සිටි තම සොයුරියට මේ ආකාරයට කුරුණෑගල ශික්ෂණ රෝහලේදී නිවුන් දරු උපතක් සිදුවූ බව ඇයගේ නමින් සඳහන් කර තිබිණි.
ඉන් සතියකට පමණ පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලේදී දමිළ මවකට ද නිවුන් දරු උපතක් සිදුව ඇති බවට නැවත සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළ කර තිබිණි.
මේ අසාමාන්‍ය සිදුවීම පිළිබඳව පුවත ජනතාවගේ ද දැඩි කුතුහලයට ලක්ව තිබූ අතර පසුව කළ විමසීමකදී අනාවරණය වූයේ එය තම මුහුණු පොතේ අගය වැඩිකර ගැනීමේ අරමුණින් කිසියම් පුද්ගලයකු විසින් පළ කරන ලද ජනතාව නොමඟ යවනසුලු අසත්‍ය පුවතක් වන බවය.
මේ පුවතේ සත්‍ය අසත්‍යතාව නොදත් බොහෝ දෙනකු ජනතාව නොමඟ යවන එම පුවත තවත් පිරිස් වෙත යවා ඇති බව ද වාර්තා විය. කුරුණෑගල ශික්ෂණ රෝහලේ බලධාරීහු සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි අසත්‍ය පුවත් නිර්මාණය කරමින් ජනතාව නොමඟ යැවීමෙන් වළකින ලෙසයි.