ෆේස්බුක් භාවිතා කරන අයට විශේෂ දැනුම්දීමක්..ඔබටත් මේදේ වෙන්න පුළුවන්.

Sri Lanka Police Facebook Sri Lanka Sri Lanka Social Media Education
By Aruna May 16, 2023 12:53 AM GMT
Aruna

Aruna

Report

එංගලන්තයේ විශ්වවිද්‍යාලයක පාඨමාලාවකට සිසු සිසුවියන් බඳවා ගන්නා බවට මුහුණු පොතේ දැන්වීමක් පළකර එම පාඨමාලාවට එංගලන්තයට යැවීමට යැයි පවසා රුපියල් විසි තුන් ලක්ෂ හැත්තෑ නමදහසක මුදලක් බැංකුගත කරවාගෙන එම මුදල වංචා කිරීමට සම්බන්ධ එක් සැකකරුව එළඹෙන 18 දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ වැඩබලන මහෙස්ත්‍රාත් රාජිකා ද සිල්වා මහත්මිය පෙරේදා(14) දින නියම කළා.

මුදල් හිමිකරුවන්ගෙන් පහරකෑමට ලක්ව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ රණසිංහගේ ක්‍රිශාන්ත රණසිංහ නැමැති සැකකරුව රෝහල තුළම මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණු බවයි වාර්තා වන්නේ.

පැමිණිලිකරුවන් පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

වංචාකරු මුහුණු පොතේ පළ කර තිබූ දැන්වීමට අදාළව පැමිණිලිකරු විසින් වංචාකරු සමඟ ජංගම දුරකථනය මගින් සම්බන්ධ වී තිබේ.

ඒ අනුව පැමිණිලිකරුගේ දියණියව එංගලන්ත රටේ විශ්වවිද්‍යාලයක පාඨමාලාවක් හැදෑරීමට පිටත් කර යැවීම සඳහා අවශ්‍ය මුදල වූ රුපියල් විසිතුන් ලක්ෂ හැත්තෑ නවදහස වංචාකරුගේ යක්කල පිහිටි බැංකු ගිණුමට බැර කර තිබේ.

මුදල් බැංකුගත කිරීමට පෙර වංචාකරු නියෝජිතයකු ලෙස රිමාන්ඩ් භාරයට පත් සැකකරුව පැමිණිලිකරුට මුණගස්සවා ඇති බව පොලිසිය කියයි.

මුදල් වංචාකරුගේ ගිණුමට බැර කිරීමෙන් අනතුරුව නියෝජිතයකු ලෙස පැමිණ සිටි සැකකාර තැරැව්කරු සමාගමේ ගිණුමට මුදල් බැර වී ඇති බව තහවුරු කර ඇති බව පොලිසිය පවසයි.

පැමිණිලිකරු එම අවස්ථාවේදීම මුහුණු පොතෙන් සම්බන්ධ වූ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගෙන තිබේ.

එම ජංගම දුරකථනය එම අවස්ථාවේ සිටම විසන්ධි කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

අධිකරණයේදී සඳහන් වූයේ, මුදල් හිමිකරු නියෝජිතයකු ලෙස රඟපෑ තැරැව්කරුව ගම්පහ කොට්ඨාස වංචා විමර්ශන කාර්යාංශය වෙත භාර දී ඇති බවයි.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ අධීක්ෂණය මත පොලිස් අධිකාරී තුසිත කුමාර, ගම්පහ කොට්ඨාස වංචා විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍ර. පො. ප. ප්‍රභාත් පරණවිතාන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ප්‍රධාන වංචාකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරන බව පැමිණිල්ල මෙහෙයවමින් පො. කො. ගුණසේකර (66319) නිලධාරියා අධිකරණය හමුවේ පවසා ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now