බීඩි නිෂ්පාදකයාට පහරදුන් සුරාබදු නිලධාරීන්ට වැඩ වැරදුනු හැටි..

Sri Lanka Police Sri Lanka Excise Department of Sri Lanka
By Sewvandhi Sep 26, 2023 01:19 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින්, බීඩි නිෂ්පාදකයෙකුට පහරදී අල්ලස් ලබාගැනීමට උත්සාහ ගැනීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ලබා දුන් උපදෙස් පරිදි මෙම පියවර ගෙන තිබෙනවා. අදාළ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව සොයා බලා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසටයි, එහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ.

එනම් මෙහිදී සිදුව ඇත්තේ, වලස්මුල්ලේ බීඩී නිෂ්පාදකයකු ගේ බලපත්‍රය ඉකුත් ජූනි 26 වැනිදායින් අවසන් වී තිබුණු අතර, ඒ හේතුවෙන් ඉකුත් 18 වැනිදා තංගල්ල සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එහි ගොස් නිෂ්පාදකයාට නඩු පවරන බව පවසා තිබේ.

පසු ව එය නඩු මඟට නොයා විසඳා දීමට නම්, රුපියල් ලක්ෂ 14ක මුදලක් බීඩි නිෂ්පාදකයා ගෙන් ඉල්ලා ඇති බවට වාර්තා වන අතර, ඔහු එයට විරෝධය පළ කර තිබිණි. මේ හේතුවෙන් එම පුද්ගලයා ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස් පහර දී රුපියල් ලක්ෂ 10ක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවට වාර්තා වනවා.

ඉන්පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් බීඩි නිෂ්පාදකවරයා වලස්මුල්ල පොලීසියට පැමිණිල්ලක් ද සිදු කර ඇත. ඒ අනුව විමර්ශන ඇරඹූ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය,ඊයේ (25) මීට සම්බන්ධ වූ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, තංගල්ල සුරාබදු ඒකකයේ ස්ථානාධිපතිවරයා, සුරාබදු නියාමකවරුන් දෙදෙනෙක්, සුරාබදු නියාමක රියදුරකු සහ යුද හමුදා සැරයන්වරයෙකි

ReeCha