'Top Gun' සහ 'Alien' චිත්රපටවලින් ජනප්රිය වූ ප්රවීණ හොලිවුඩ් රංගන ශිල්පී ටොම් ස්කෙරිට් අභාවප්රාප්ත වෙයි
හොලිවුඩ් සිනමාවේ ජනප්රිය චිත්රපට වන ‘Top Gun’ සහ ‘Alien’ ඇතුළු නිර්මාණ රැසකින් ප්රේක්ෂක ආදරය දිනාගත් ප්රවීණ රංගන ශිල්පී ටොම් ස්කෙරිට් අභාවප්රාප්ත වී තිබේ. මියයන විට ඔහු 93 වැනි වියේ පසුවිය.
දශක හයකට අධික කාලයක් පුරා සිනමා හා රූපවාහිනී ක්ෂේත්රයේ සක්රීයව කටයුතු කළ ස්කෙරිට්, සිය විශිෂ්ට රංගන ප්රතිභාව වෙනුවෙන් ජාත්යන්තර කීර්තියට පත් වූ රංගන ශිල්පියෙකි. ඔහුගේ රංගන ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වූයේ ‘Picket Fences’ රූපවාහිනී නාට්ය මාලාවයි.
එහි දැක්වූ රංගනය වෙනුවෙන් 1993 වසරේදී නාට්ය මාලාවක විශිෂ්ටතම ප්රධාන නළුවාට හිමි එමි (Emmy) සම්මානය දිනා ගැනීමට ඔහු සමත් විය.
ස්කෙරිට්ගේ අභාවය පිළිබඳව අදහස් දක්වමින් ඔහුගේ පවුලේ සාමාජිකයන් සඳහන් කර ඇත්තේ, ලෝකය ඔහු හඳුනාගත්තේ විශිෂ්ට රංගන ජීවිතය හරහා වුවද, තමන්ට ඔහු සමීප වූයේ ඔහුගේ හාස්යය, කුතුහලය, ප්රඥාව, ත්යාගශීලීත්වය සහ පවුලේ සාමාජිකයන්ගේ ජීවිතවලට එක් කළ ආදරය නිසා බවයි.
පරිකල්පනය, නිර්මාණශීලීත්වය, කතන්දර කීම, සමාජ සේවය, හිටපු හමුදා සාමාජිකයන්ගේ සුබසාධනය සහ ස්වාභාවික පරිසරය සම්බන්ධයෙන් ඔහු විශේෂ උනන්දුවක් දැක්වූ බවද පවුලේ සාමාජිකයෝ සඳහන් කරති.
එමෙන්ම, අනෙකුත් පුද්ගලයන්ට තමන්ගේම හඬක් සොයාගෙන එය අන් අය සමඟ බෙදා ගැනීමට උපකාර කිරීම ද ඔහු වැදගත් කොට සැලකූ කරුණක් බව ඔවුහු පවසති. සිනමාවට පිවිසීම සහ රංගන දිවියේ ආරම්භය 1933 අගෝස්තු 25 වැනිදා උපත ලැබූ ටොම් ස්කෙරිට් හැදී වැඩුණේ ඇමරිකාවේ මිචිගන් ප්රාන්තයේ ඩෙට්රොයිට් නගරයේ මධ්යම පාන්තික පවුලකය.
ඔහු වසර හතරක් ඇමරිකානු ගුවන් හමුදාවේ සේවය කළ අතර, පසුව සිනමාව කෙරෙහි ඇති වූ උනන්දුව හේතුවෙන් රංගනය හා සිනමා ක්ෂේත්රය සම්බන්ධ අධ්යාපනයට යොමු විය. ‘Citizen Kane’ චිත්රපටය නැරඹීමෙන් පසු සිනමාව හැදෑරීමට පෙලඹුණු ඔහු, වේන් ස්ටේට් විශ්වවිද්යාලයට ඇතුළත් වී පසුව කැලිෆෝනියා විශ්වවිද්යාලය වන UCLA වෙත මාරු විය.
1962 වසරේදී රොබට් රෙඩ්ෆෝර්ඩ් සමඟ රංගනයෙන් දායක වූ ‘War Hunt’ චිත්රපටය හරහා ඔහු සිනමාවට පිවිසියේය. 1970 වසරේදී රොබට් අල්ට්මන් අධ්යක්ෂණය කළ ‘MAS*H’ චිත්රපටයේ හමුදා ශල්ය වෛද්යවරයකුගේ චරිතය නිරූපණය කිරීමෙන් ඔහුගේ රංගන හැකියාව තවදුරටත් කැපී පෙනුණි.
ඩොනල්ඩ් සදර්ලන්ඩ්, එලියට් ගෝල්ඩ් සහ සැලී කෙලර්මන් ඇතුළු ප්රවීණ නළු නිළියන් රැසක් දායක වූ එම චිත්රපටය ඔස්කාර් සම්මාන පහක් සඳහා නිර්දේශ විය.
‘Alien’ සහ ‘Top Gun’ චිත්රපටවලින් ලැබූ ජනප්රියත්වය රිඩ්ලි ස්කොට් අධ්යක්ෂණය කළ 1979 වසරේ විද්යා ප්රබන්ධ භීෂණ චිත්රපටයක් වන ‘Alien’ හි අභ්යවකාශ යානයේ කපිතාන් ඩලස්ගේ චරිතය නිරූපණය කිරීම ස්කෙරිට්ගේ රංගන ජීවිතයේ තවත් කැපී පෙනෙන අවස්ථාවක් විය.
එමෙන්ම, 1986 වසරේ තිරගත වූ ‘Top Gun’ චිත්රපටයේ අණදෙන නිලධාරී මයික් ‘වයිපර්’ මෙට්කාෆ්ගේ චරිතය හරහා ද ඔහු විශාල ප්රේක්ෂක පිරිසකගේ අවධානය දිනා ගත්තේය.
රූපවාහිනිය සහ සිනමාව යන ක්ෂේත්ර දෙකෙහිම සාර්ථකත්වය රඳවා ගැනීමට හැකිවීම පිළිබඳව 1997 වසරේදී අදහස් දක්වමින් ස්කෙරිට් පවසා තිබුණේ, ලේඛකයකු වරක් තමන්ව “ප්රධාන නළුවකුගේ සිරුරක සිරවී සිටින චරිතාංග නළුවකු” ලෙස හැඳින්වූ බවයි.
එය තමන්ට ලැබුණු හොඳ පැසසුමක් ලෙස සැලකූ බවද ඔහු සඳහන් කර තිබුණි. 1960 දශකයේ ආරම්භ වූ ඔහුගේ රංගන ජීවිතය 2020 දශකය දක්වාම විහිදී ගියේය. විවිධ චරිත ඔස්සේ සිය රංගන හැකියාව ප්රදර්ශනය කළ ටොම් ස්කෙරිට්, හොලිවුඩ් සිනමාවේ දිගුකාලීන මතකයක් ඉතිරි කළ ප්රවීණ රංගන ශිල්පියකු ලෙස සැලකේ.