“කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොදි ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය කළේ මෙම රජයයි” - එරංග ගුණසේකර
83 කළු ජූලිය පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ පළමු වරට ජනතාවාදී රජයක් නිර්මාණය වී ඇති බවයි.
සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ ඇතුළු සියලු ජන කොටස් එක්ව කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
මෙම රජය කිසිදු ජාතිවාදී ගැටුමක් ඇති වීමට ඉඩ නොදුන් රජයක් බවත්, ශ්‍රී ලාංකීය ජාතියක් නිර්මාණය කිරීම සඳහා මැදිහත් වන රජයක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
"83 කළු ජූලිය එකේ වෙච්ච සිදුවීම් ඒවා හුදකලා සිදුවීම් නෙවෙයි, සභාපතිතුමනි. ඒවා ඇතුළේ ඒවාට මැදිහත් වුණු එක්සත් ජාතික පක්ෂය, ඒ වගේම ඒත් එක්ක සම්බන්ධ වුණු දේශපාලන ව්‍යාපාරවල ඒ දේශපාලන ගැටුම, නැත්නම් කුමන්ත්‍රණය තමයි 83 කළු ජූලිය ඇතුළේ හෙළිදරව් වෙන්නේ." "ඒ අතරම ඒ වගේම තමයි පාස්කු ප්‍රහාරය කියලා කියන්නේ. ඒක නිසා මේ කියන්නේ මොකක්ද, මේ ඉස්සරහා ඉන්න මහත්වරු එගොල්ලොන්ගේ පක්ෂ වෙනුවෙන්, එගොල්ලොන්ගේ දේශපාලනය වෙනුවෙන් එක පැත්තකින් සිංහල දෙමළ ගැටුමක් හැදුවා. එතනින් පස්සේ තිස් අවුරුදු යුද්ධයක් ඇති කළා." "එහි ප්‍රතිඵලය තමයි අපි රටක් විදිහට අගාධයට යෑම. එතනින් මෙගොල්ලෝ පාඩම් ඉගෙන ගත්තද? නැහැ, මෙගොල්ලෝ පාඩම් ඉගෙන ගත්තේ නැහැ. මෙගොල්ලෝ එතනින් පස්සෙත් මොකද කළේ? එගොල්ලෝ සිංහල මුස්ලිම් ගැටුමක් හැදුවා. ඒක තමයි පාස්කු ප්‍රහාරය. අද මහත්වරුන්ට රිදෙන්න පටන් අරන් තියෙන්නේ ජනතාවාදී ආණ්ඩුවක් ඇවිල්ලා අද ඒවා එළිදරව් වෙන්න පටන් අරගෙන තියෙනවා."