වසර 26කට පසු පරිසර පනත වෙනස් වෙයි - එය ජනතා අරගලයේ ජයග්‍රහණයක් බව ඇමති එරංග කියයි
ජාතික පරිසර පනතට වසර 26කට පසු සංශෝධන ගෙන ඒමට වත්මන් ආණ්ඩුව සමත්වී ඇති බව නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර පාර්ලිමේන්තුවේදී අද (23) දා ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කළේ පසුගිය වසර 26 තුළ රට තුළ ජනාධිපතිවරු සහ අමාත්‍යවරු රැසක් සිටියද, පරිසරයට අදාළ අවශ්‍ය නීති සංශෝධන ගෙන ඒමට ඔවුන්ට නොහැකි වූ බවයි.
මෙම සංශෝධන හුදෙක් නිකන් තීරණයක් නොවන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ජනතා අරගල, තරුණ කණ්ඩායම් සහ පරිසරවේදීන් ක්‍රියාකාරීන් දිගුකාලීනව ගෙන ගිය සංවාද හා අරගලවල ප්‍රතිඵලයක් ලෙස මෙම වෙනස්කම් සිදුවන බව පැවසීය.
එමෙන්ම මීට පෙර පරිසරය සුරැකීම වෙනුවෙන් බාහිරව සටන් කළද, ඒවා නීතිමය සංශෝධන ලෙස ක්‍රියාත්මක කිරීමට අවස්ථාවක් නොලැබුණු බවද ඔහු සඳහන් කළේය.
ජනතාවගේ අවශ්‍යතා නීති බවට පත් කිරීමේ හැකියාව ඇත්තේ ජනතා ආණ්ඩුවකට පමණක් බවද ඔහු අවධාරණය කළේය.
ඒ අනුව, වසර 26ක් පැරණි ජාතික පරිසර පනතට වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන සංශෝධන ගෙන ඒමට වත්මන් රජයට හැකිවීම වැදගත් ඉදිරි පියවරක් බව එරාංග ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.