පැය 10ක් තුළ භූ කම්පන 8ක්..සුනාමි අවධානමක් ගැනත් අනතුරු ඇඟවීමක්..
ශ්‍රී ලංකාව පිහිටා තිබෙන ඉන්දු ඔස්ට්‍රේලියානු තල මායිමේ තවත් විශාල භූ කම්පන ඉදිරියේදී සිදුවිය හැකි බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් අනතුරු ඇඟවීමක් සිදුකරනවා.
මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කළේ, මඩකලපුවට ඔබ්බෙන් කිලෝමීටර 310ක පමණ දුරින් ඊසාන දිග ගැඹුරු මුහුදේ ඊයේ (11) අලුයම 1.30ට පමණ සිදුවූ රිච්ටර් මාපක 4.65ක භූ කම්පනය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
පළමු භූ කම්පනය වාර්තා වී ගෙවී ගිය මුල් පැය 10දී ඉන්දු – ඔස්ට්‍රේලියානු භූ තලයේ මෙන්ම ඉන්දුනීසියාව හා ජපානය අතර භූ තලයේ භූ කම්පන 08ක් සිදුව තිබෙන බවත් මෙම කම්පන සියල්ල රිච්ටර් මාපක 4 ඉක්මවූ ඒවා බවත් ඒ මහතා වැඩි දුරටත් කියා සිටියා.
ගැඹුරු මුහුදේ සිදුවූ මෙම භූ කම්පනය නිසා ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැති නමුත් නැඟෙනහිර වෙරළ ආසන්න මුහුදේ මෙවැනි කම්පන සිදු වුවහොත් සුනාමි අවදානමක් ඇති විය හැකි බවත් ඔහු පැවසුවේය.
මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව පිහිටා තිබෙන ඉන්දු – ඔස්ට්‍රේලියානු තලය මේ වන විට භූ තල දෙකක් වශයෙන් දෙකඩ වෙමින් පවතින බවත් මේ හේතුවෙන් පෘථිවිය අභ්‍යන්තරයේ සිදුවන වෙනස් වීම් භූ කම්පන වාර්තා වීම ඉහළ යෑමට හේතු වී තිබෙන බවයි.
දකුණු අර්ධ ගෝලයේ කිසියම් රටාවක් අනුව සිදුවන මෙම භූ කම්පන අනුව ඉදිරියේදී භූ කම්පන ගණනාවක් සිදුවිය හැකි බවට අනුමාන කළ හැකි බවත් ඒවායින් අපට හානියක් වෙතැයි බිය වීමේ අවශ්‍යතාවක් නැති බවත් සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියා.
