ලංකා රජයෙන් මේ රටවල සිටින ලාංකිකයන්ට සුබම සුබ පණිවිඩයක්
රාජ්‍ය සේවය ජනතාවට වඩාත් සමීප කරවීමේ රජයේ වැඩපිළිවෙළට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් 2025 ජනවාරි 06 වනදා රටවල් 07ක නියමු ව්‍යාපෘතියක් ලෙස e - BMD ව්‍යාපෘතිය හඳුන්වා දුන්නේය.
පසුව 2025 පෙබරවාරි 07වනදා සිට විදෙස් තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල 62ක් දක්වා එම සේවාව ව්‍යාප්ත කෙරිණි.
මෙමගින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල සහතික කළ පිටපත් තම රටට අදාළ තානාපති කාර්යාලය හෝ මහ කොමසාරිස් කාර්යාලය මගින් සෘජුවම ලබා ගත හැකිය. නිතිමය පිළිගැනීමකින් යුතුව මෙම සහතික පත් නිකුත් කිරීම සිදු වන අතර, එබැවින් මේ සඳහා නැවත ලංකාවට පැමිණීම හෝ දීර්ඝ කාලීන ක්‍රියාවලියක නිරතවීම තවදුරටත් අවශ්‍ය නොවේ.
එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජපානය, මැලේසියාව, ඉන්දියාව ඇතුළු යුරෝපය, මැදපෙරදිග සහ ආසියානු කලාප රැසක වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා මෙම සේවාව ලබා ගත හැකි වේ.
උප්පැන්න, විවාහ සහ මරණ සහතික නිකුත් කිරීමේ සේවාවන් ඩිජිටල්ල්කරණය කර තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාල සෘජුවම රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ කිරීම මගින් ලේඛනවල විශ්වසනීයත්වය සහ ආරක්ෂාව තහවුරු කරමින් ලේඛන සැකසීමේ කාලය විශාල වශයෙන් අඩු කර තිබේ.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය මගින් ලබාදෙන තත්‍ය කාලීන (Real-time) තාක්ෂණික සහාය හේතුවෙන්, තානාපති කාර්යාල සහ මහ කොමසාරිස් කාර්යාලවල මෙහෙයුම් ගැටලු විසඳමින් බාධාවකින් තොරව මෙම සේවාව පවත්වා ගෙන යාමට හැකියාව ලැබී ඇති බවත් සිහිපත් කළ යුතු වේ.