ආයේ මේ රටට යන්න හීන මවලා ඉවරයි - ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම අත්හිටුවයි
තායිවානය (Thaiwan) විසින් ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන ඇත.
තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ සේවා කාර්යාංශය විසින් නිකුත් කරන ලද නවතම වීසා නියාමනයන්ට අනුකූලව මෙම තීරණය ගෙන ඇති අතර, මෙය එරට විසින් හඳුනාගත් විශේෂිත රටවල් සඳහා වන වීසා පාලන ප්‍රතිපත්තියේ සංශෝධනයක් ලෙස ක්‍රියාත්මකයි.
මෙම නව තීරණය හමුවේ සංචාරක අරමුණු සඳහා වීසා ලබාගැනීම තහනම් වුවද, වෙනත් ක්ෂේත්‍ර කිහිපයක් යටතේ තායිවානය වෙත ගමන් කිරීමට ශ්‍රී ලාංකිකයින්ට තවදුරටත් අවස්ථාව හිමි වී ඇත. තායිවාන රාජ්‍ය ආයතනයක නිල ආරාධනයක් සහිත සංචාර, අධ්‍යාපනික හා සංස්කෘතික හුවමාරු වැඩසටහන්, තෙවන පරම්පරාවේ ඥාතීන් හමුවීමේ සංචාර, ව්‍යාපාරික කටයුතු, නෞකා සේවකයින් ලෙස වාර්තා කිරීම සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අරමුණු සඳහා වීසා අයදුම්පත් තවදුරටත් ඉදිරිපත් කළ හැකිය.
එලෙස අනුමත කරන ලද වෙනත් අරමුණු සඳහා වීසා අයදුම් කරන ශ්‍රී ලාංකිකයන් සිය අයදුම්පත් ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි තායිපේ ආර්ථික හා සංස්කෘතික මධ්‍යස්ථානය (TECC) හෝ සිංගප්පූරුවේ පිහිටි තායිපේ නියෝජිත කාර්යාලය වෙත යොමු කළ යුතුය.
එහිදී තායිවාන වැසියෙකු වන ඇපකරුගේ ඇපකර ලිපිය හා ජාතික හැඳුනුම්පත් පිටපත ඇතුළු ලේඛන ද, අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍ර පිටපත, පොලිස් සහතිකය, මූල්‍ය හැකියාවන් සනාථ කරන ලේඛන, නවාතැන් පිළිබඳ තොරතුරු සහ ආපසු පැමිණීමේ ගුවන් ටිකට්පත ආදී ලේඛන රැසක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.