විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන අධිකරණ ඇමතිට ලිපියක්
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස වැඩි කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරුණු විමසමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර වෙත යළි ලිපියක් යොමු කර තිබේ.
එමගින් නීතිඥ සංගමය පෙන්වා දී ඇත්තේ මේ සම්බන්ධයෙන් කරුණු විමසමින් පසුගිය මාර්තු මස 30 වනදා අමාත්‍යවරයා වෙතත්, මැයි මස 25 වනදා ජනාධිපතිවරයා වෙත ලිපි යොමු කළද, ඊට කිසිදු ප්‍රතිචාරයක් හෝ නිල නිරීක්ෂණයක් නොලැබීම කනගාටුවට කරුණක් බවයි.
ඒ අනුව, ඔවුන් පසුගිය 16 වනදා අධිකරණ අමාත්‍යවරයා වෙත මෙම ලිපිය යොමුකර තිබේ. එමගින් නීතිඥ සංගමය අවධාරණය කර ඇත්තේ ඉහළ අධිකරණයට සෘජුවම බලපානු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වන මෙම යෝජනාව, සුවිශේෂී ව්‍යවස්ථාමය වැදගත්කමක් වන බැවින් එය සාමාන්‍ය පරිපාලන ක්‍රියාවලියක් හරහා පමණක් නොව සියළු ප්‍රධාන පාර්ශවකරුවන්ගේ උපදෙස් විමසීමක් හරහා තීරණය කළ යුතු බවයි.
එබැවින් කිසිදු ඉදිරි පියවරක් ගැනීමට පෙර අදාල යෝජනාව පූර්ණ ලෙස අධ්‍යයනය කර විෂයානුබද්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා සුදුසු කමිටුවක් පත් කළ යුතු බව නීතිඥ යෝජනා කර තිබේ. නීතිඥ සංගමය සිය ලිපියෙන් පෙන්වා දී ඇත්තේ එම කමිටුව අධිකරණ අමාත්‍යාංශයේ, අධිකරණයේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන්ගෙන් සහ සුදුසු යැයි සැලකිය හැකි වෙනත් පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත විය යුතු බවයි.