ලෝකයම පුදුම කරමින් මහා ගංවතුර මැද ගැබිනි මව්වරුන් වෙනුවෙන් බයිසිකලය තල්ලු කරන් ආ වෛද්‍යවරයා

By Malith Madushan Jul 24, 2026 07:48 AM GMT
Report

චීනයේ ඊසානදිග ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු දැඩි ගංවතුර තත්ත්වයක් මධ්‍යයේ රෝගීන් සඳහා අවශ්‍ය සැත්කම් සිදු කිරීමට රෝහල වෙත පාපැදිය තල්ලු කරමින් ගොස් තිබේ.

මෙම සිදුවීම ජූලි 13 වැනිදා ලියාඔනිං පළාතේ ෂෙන්යැං නගරයට බලපෑ දැඩි වර්ෂාව අතරතුර සිදුව ඇත.එදින එම ප්‍රදේශයට මිලිමීටර් 230ක වර්ෂාපතනයක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ෂෙන්යැං නගර බලධාරීන් සඳහන් කර ඇත්තේ මෙය 1951 වසරෙන් පසු වාර්තා වූ අධිකම වර්ෂාපතනය බවයි. ගංවතුර හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යට වූ අතර පොදු ප්‍රවාහන සේවාද දැඩි ලෙස අඩාල වී තිබිණි.

මෙම අවස්ථාවේදී බොහෝ ජනතාවට නිවෙස්වල රැඳී සිටින ලෙස උපදෙස් ලබා දී තිබුණද, වෛද්‍යවරුන් ඇතුළු අත්‍යවශ්‍ය සේවා කාර්ය මණ්ඩලයට තම සේවා ස්ථානවල රැඳී සිටීමට සිදුවිය.

මෙම වෛද්‍යවරයා ලෙස හඳුනාගෙන ඇත්තේ චූ ෂෙන්හාඕ (Chu Zhenhao) මහතාය. ඔහු ඊසානදිග චීනයේ ප්‍රමුඛ වෛද්‍ය ආයතනයක් වන ෂෙන්ජිං රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකි.

චූ මහතා පැවසුවේ ගර්භණී කාන්තාවන් දෙදෙනෙකු සඳහා සංකීර්ණ සැත්කම් දෙකක් සිදු කිරීමට පෙර එකඟ වී තිබූ බැවින්, කෙසේ හෝ රෝහල වෙත යාමට උත්සාහ කළ බවයි.

ඔහු සඳහන් කළේ වෛද්‍යවරයෙකු ලෙස රෝගීන්ගේ ආරක්ෂාව ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතු බවත්, වෛද්‍ය සේවකයන් නොපැමිණියහොත් රෝගීන් අවදානමකට ලක්විය හැකි බවත්ය.

චූ මහතා සාමාන්‍යයෙන් පාපැදියෙන් සේවයට යන බවත්, එදින ජල මට්ටම එතරම් ඉහළ යනු ඇතැයි අපේක්ෂා නොකළ බවත් පැවසීය. එම නිසා පාපැදිය පැදවීමට නොහැකි වූ විට එය තල්ලු කරමින් ජලය මැදින් ගමන් කළ බව ඔහු සඳහන් කළේය. ඔහු තවදුරටත් පවසා ඇත්තේ එදින තම සෙසු වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සියලු දෙනාම සේවයට පැමිණි බවයි.

චූ මහතා කියා සිටියේ තමන් නගරයේ සිටින දහස් ගණනක් වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර සාමාන්‍ය සාමාජිකයෙකු පමණක් බවත්, මෙම ප්‍රශංසාව වෛද්‍යවරුන්ට පමණක් නොව තම රාජකාරියේ රැඳී සිටි සියලු අංශවල පුද්ගලයන්ට හිමි විය යුතු බවත්ය.