දෙව්නිමෝරි සර්වඥධාතූන් වැඳපුදන්න සැදැහැවතුන් වැල නොකැඩී එයි - පැය 24 පුරාම දන්සැලක්[UPDATE]
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් ශ්‍රී ලංකාවට වැඩම කරවූ දෙව්නිමෝරි සර්වඥධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට අද (05) දින උදෑසන සිට මේ දක්වා විශාල සැදැහැවතුන් පිරිසක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණෙන බවට වාර්තා වේ.
ඒ අනුව අද සිට පෙබරවාරි 11 වන දින පෙරවරු 07 දක්වා පැය 24 පුරාම ධාතූන් වහන්සේ වන්දනාමාන කරගැනීමේ මෙම පින්සාර අවස්ථාව සැදැහැවතුන්ට හිමි වන බව සඳහන්.
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයා ගැණුනු ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ ඊයේ (04) දින මෙරටට වැඩම කරවූ අතර පසුව හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විශේෂ පීඨිකාවක තැන්පත් කිරීමට කටයුතු කළා.
ඒ සර්වඥ ධාතූන් වහන්සේ ලාංකික සැදැහැවතුන්ට වන්දනාමාන කරගැනීමේ දුර්ලභ අවස්ථාව උදාකර දෙමින්.
මේ වන විටත් ඉන්දියාවෙන් පිටතට පළමු වරට වැඩමකරවූ උතුම් සර්වඥ ධාතූන්වහන්සේ සියැසින් දැක වන්දනාමාන කරගැනීමට නන් දෙසින් සැදැහැවතුන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණෙමින් සිටින බව සඳහන්.
එමෙන්ම සර්වඥ ධාතු වන්දනාව පැවැත්වෙන කාලසීමාව තුළ ගංගාරාම විහාරස්ථානයේ මෙන්ම ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මකව පවතින බව සඳහන්.
එසේම එහි පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් පැය 24 පුරාම දන්සැලක්ද සංවිධාන කර ඇත.
එවැනි පසුබිමක ධාතූන් වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් සඳහා අද සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වායි. මේ අතර සර්වඥධාතු වන්දනාව හේතුවෙන් විහාරස්ථාන අවට රථ වාහන තදබදය අවම කිරීමට ඒ අවට මාර්ග කිහිපයක වසා තැබීමට පොලීසිය පියවර ගෙන ඇත.
එසේම සර්වඥධාතූ වන්දනාව වන්දනාව වෙනුවෙන් පැමිණෙන සැදැහැවතුන්ට සිය වාහන ගාල්කිරීමට ගාස්තු අය කිරීමට තොරව රථගාල් කිහිපයක්ද ක්‍රියාත්මකයි.