සැක සහිත තරුණයන් දෙදෙනෙක් රෝහල්ගත කළ මියගිය බාලවයස්කාර දැරියගේ සිදුවීමේ තොරතුරු රැසක් එළියට.

Sri Lanka Crime
By Wayomi Nov 12, 2022 11:10 AM GMT
Wayomi

Wayomi

Report

 ඊයේ(11) දිනයේ සැක සහිත තරුණයන් දෙදෙනෙකු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බාලවයස්කාර දැරියක ඇතුළත් කර සුළු වේලාවකින් මිය ගිය පුවතක් වාර්තා වුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදු කෙරුණු අතර ඒ ගැන පුවත්පත් වාර්තාකරුවෙක් සටහනක් තබා තිබුවේ මෙලෙසින්,

අඹුකමට තබා ගත් 15 හැවිරිදි දැරියකට පහර දී ඝාතනය කළ 27 හැවිරිදි සැකකරු ඊයේ (11 ) අත්අඩංගුවට ගත් බව බෙම්මුල්ල පොලිසිය පවසයි.

ගම්පහ, බෙම්මුල්ල, බුලත්ගන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ‘සංජු’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරු පොලිසිය මගින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

වේයන්ගොඩ, කටුවස්ගොඩ ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියක වූ ඉලන්දාරි පේඩිගේ නදිසි ප්‍රියන්ගනී තත්සරනි නමැති දැරිය මෙසේ ඝාතනය කර තිබේ.

සැකකරු පහළොස් හැවිරිදි දැරිය සමග නීත්‍යනුකූලව විවාහ නොවී බුලත්ගන්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේ අඹු සැමියන් ලෙසට එකට ජීවත්ව ඇති බව පොලිසිය කියයි.

10 වැනිදා රාත්‍රියේ දී දෙදෙනා අතර ඇති වූ ආරවුලකදී සැකකරු දැරියට අමානුෂික ලෙස පහර දී ඇති බවට පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.

සැකකරුගේ පහරකෑමට ලක්ව රෝගාතුර වී සිටි දැරිය සැකකරු විසින් ඊයේ (11දා) උදේ තවත් අයකු සමග එක්වී කාර් රථයකින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති බවත් එහිදී දැරිය මිය ගොස් ඇති බවත් එම තතු අනාවරණය වීමෙන් අනතුරුව සැකකරු රියැදුරු සමග කාර් රථයෙන් පලාගොස් තිබූ බවත් පොලිසිය කීය.

රෝහලේ සහ අවට ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෝටර් රථය සහ එහි රියැදුරු අත්අඩංගුවට ගැනීමෙන් පසු සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකරු සහ කාර් රථයේ රියදුරු අද (12) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව බෙම්මුල්ල පොලිසිය පවසයි.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් මත බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපති පො. ප . දිලුම් රත්නායක සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක බී. ජේ. බංඩාර ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

–_ටෝනි කරුණානායක _ දිවයින