දේශබන්දුට විවෘත වරෙන්තුවක්
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළේ පසුගිය පෙබරවාරි 28 වැනිදායි.
ඒ, 2023 දෙසැම්බර් 31 වනදා මාතර – වැලිගම – පැලෑන ප්‍රදේශයේ W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළව එම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මෙම සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු මරණයට පත්ව තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබුණා.
අත් අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කිරිමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට දින 12 ක් තිස්සේ පොලිසිය විසින් සොයමින් සිටි, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (10) සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.
මෙම පෙත්සම අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සඳහා ඊයේ කැඳවනු ලැබූ අතර එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ, වග උත්තරකරුවන්ට නොතීසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 12 වන දා යළි කැඳවන ලෙසයි .
