රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථානවලට රතු එළි - නව චක්‍රලේඛය සමඟින් දැඩි අනතුරු ඇගවීම්
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මඟින් ඩෙංගු වසංගතය මේ වනවිට අපේක්ෂා නොකළ අන්දමින් වර්ධනය වෙමින් පවතින බව සඳහන් කරයි.
ඒ අනුව එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථානවල මෙම තත්ත්වය ඉතා බරපතළ ලෙස වාර්තා වන බවයි.
එවැනි පසුබිමක ඩෙංගු රෝගය වළක්වා ගැනීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (24) සිට ලබන 26 වැනිදා දක්වා දින 3ක විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ප්‍රකාශයට පත් කර ඇත. එසේම ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව ඩෙංගු හේතුවෙන් මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 29ක්.
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ද මේ වන විට 48,287ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 52% ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.
ඒ 25,167ක් ලෙසයි. තවද ඩෙංගු අධි අවදානම් වශයෙන් හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ගණන ද 112ක් දක්වා ඉහළ ගොස් ඇත.
සෞඛ්‍ය අංශ සඳහන් කළේ මෙසෙ දිනෙන් දින ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වීම හමුවේ රෝහල් ධාරිතාවයද ඉක්මවා ගොස් තිබෙන බවයි.
එමෙන්ම ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ කළුබෝවිල ශික්ෂණ රෝහල සහ IDH රෝහල ද ඩෙංගු රෝගීන්ගේ උපරිම ධාරිතාවට පැමිණ ඇති බවයි.
එසේම කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා ප්‍රකාශ කර සිටියේ ඩෙංගු සමඟ චිකුන්ගුන්යා රෝගයද හිස ඔසවා තිබෙන බවයි.