සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා ආසාදිතයන් - සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක් (VIDEO)

covid19 vaccination hemantha herath immunity delta variety
By Sewvandhi Jul 26, 2021 08:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට සෑම දිස්ත්‍රික්කයකම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් සාමාන්‍ය ප්‍රතිශතයක් සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.අද (26) පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේය.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ දෛනික කොවිඩ් ආසාදිතයින්ගෙන් යම් ප්‍රතිශතයක් ඩෙල්ටා ආසාදිතයින් විය හැකි බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

"මේ වනවිට අඩු වැඩි ඇතිව ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම මේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වු රෝගීන් ඉන්න පුළුවන් කියන නිගමනයට අපි ඇවිත් තියෙනවා. මේ ප්‍රභේදය ඇති රෝගීන් ඉන්න ප්‍රදේශයක මේ රෝගය බෝ වෙන්න අපි ඉඩ තිබ්බොත් වේගයෙන් මේක පැතිරෙන්න පුළුවන්. ඒ නිසා මේ ආසාදිතයින් අවම කරගැනීමට අවශ්‍යයි. මේ ඩෙල්ටා ආසාදිතයින් 68 සාම්පල් ගණනාවකින් ආපු එකක්. නමුත් ඇත්ත වශයෙන්ම මේ 68ට වඩා විශාල සංඛ්‍යාවක් පරිසරයේ ඉන්නවා කියන එක තමයි ඒකෙන් කියන්නේ. ඊයේ 1,666ක් රෝගීන් වාර්තා වෙනකොට ඒකෙනුත් යම් ප්‍රතිශතයක් මේ ඩෙල්ටා රෝගීන් විය හැකියි. නමුත් ඒ සෑම කෙනෙක්ම ඩෙල්ටා ප්‍රභේදය සඳහා වෙන වෙනම පරීක්ෂා කිරීම කාර්යක්ෂම ක්‍රමවේදයක් නොවන නිසා අපි ඒක කරන්නේ නෑ. ඩෙල්ටා පොකුරු බිහිවෙන්න ඉඩ දෙන්න එපා."

මේ අතර, මේ වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි මස 21 වනදා සිට මාර්තු 03 වන බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ලබන වසරේ ජනවාරි මස අගදී පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන මෙලෙස සති කිහිපයකින් කල් දැමූ බවයි.

මේ අතර, යළි සාමාන්‍ය පරිදි රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් මේ වනවිට සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා සිදුකරන බව රාජ්‍ය සේවා අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි පවසනවා. අවම සේවක සංඛ්‍යාවකින් සේවා පවත්වාගෙන යාමේදී අපහසුතාවලට මුහුණ දෙන බව ඇතැම් ආයතන ප්‍රධානීන් පෙන්වා දී ඇති බවද ඔහු සඳහන් කළා.

මේ අතර, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ සංචරණ සීමා ලිහිල් කිරීමේදී කටයුතු කර ඇති ආකාරය පිළිබඳව යළි සලකා බැලිය යුතු බවයි.

එම සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය ඉදිරි මාසය තුළ මෙරට ප්‍රධානම වෛරස් ප්‍රභේදය බවට පත්වීමේ අවදානමක් පවතින බැවින් පිරිස් ඒකරාශිවීමේ සංඛ්‍යාව අවම වශයෙන් 50ත්, 60ත් අතර සීමාවේ හෝ සුදුසු පරිදි දැනට වඩා අඩු මට්ටමකින් පවත්වාගෙන යා යුතු බවයි.

මේ අතර, ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 1,666 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 360 ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 256 දෙනෙකු අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 170 දෙනෙකු ඊයේ (25) හඳුනාගෙන තිබුණා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now