අයෝධ්‍යාවේ පහන් සිය දහස් ගණනින් දැල්වුණු අරුමය - දීපාවලී පිටුපස ඇති සුන්දර පුරාවෘත්ත සහ දින 5ක චාරිත්‍ර
ලෝකයේ ජීවත්වන හින්දු බැතිමතුන් මෙන්ම ජෛන සහ සික් ආගමිකයන් ද මහත් හරසරින් සමරනු ලබන ප්‍රධානතම හා වර්ණවත්ම ආගමික හා සංස්කෘතික උත්සවයක් ලෙස දීපාවලී හෙවත් දීවාලි මංගල්‍යය දක්වන්නට පුළුවන්. 'ආලෝකයේ උත්සවය' ලෙස ද මෙම දීපවාලී උත්සවය හදුන්වනු ලබනවා
දීපාවලී උත්සවය හින්දු චන්ද්‍ර සූර්ය දින දර්ශනයට අනුව කාර්තික මාසයේ අමාවක දිනය කේන්ද්‍ර කරගනිමින් සාමාන්‍යයෙන් ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවල දින පහක් පුරාවට පවත්වනවා .
'දීපාවලී' යන වචනය සංස්කෘත භාෂාවේ 'දීප' සහ 'ආවලී' යන වචන දෙකෙන් බිඳී ආවකි. 'දීප' යන්නෙන් පහන හෝ ආලෝකය අදහස් වන අතර, 'ආවලී' යන්නෙන් පේළියක් හෝ සමූහයක් අදහස් වේ.
ඒ අනුව දීපාවලී යන්නෙහි අර්ථය වන්නේ 'ආලෝක පේළිය' යන්නයි. මෙම උත්සවයේ ප්‍රධානතම අංගය වන්නේ පහන් දැල්වීමයි. දීපාවලී සමයේදී නිවාස, වීදි සහ නගර දහස් ගණනක් මැටි පහන් හෙවත් 'දියා' සහ විවිධ ආලෝක සැරසිලිවලින් අලංකාර කරනු ලබනවා .
මෙම ආලෝකය හුදෙක් බාහිර අලංකරණයක් පමණක් නොව ගැඹුරු ආධ්‍යාත්මික අර්ථයක් ද සංකේතවත් කරයි. එනම් අන්ධකාරය පරදා ආලෝකයත්, නපුර පරදා යහපතත්, අඥානය පරදා ඥානයත් ජයගැනීමයි.
අඳුර දුරු කරමින් නව ආලෝකයක්, ප්‍රඥාවක් සහ යහපත් අවබෝධයක් ජීවිතයට ළඟා කරගැනීම දීපාවලී උත්සවයේ මූලික අරමුණයි දීපාවලී උත්සවයේ ආරම්භය හා සම්බන්ධ පුරාවෘත්ත කිහිපයක් හින්දු බැතිමතුන් අතර ප්‍රචලිතය.
වඩාත් ප්‍රචලිත පුරාවෘත්තයක් වන්නේ රාමායණය හා සම්බන්ධ රාම කුමරුගේ ජයග්‍රාහී ආපසු පැමිණීමයි.
විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස සැලකෙන රාම කුමරු, ලංකා රජු වූ රාවණා පරාජය කර වසර 14ක වනවාසය අවසන් කිරීමෙන් පසු සීතා දේවිය සහ ලක්ෂ්මණ කුමරු සමඟ අයෝධ්‍යාවට පැමිණීම මෙහිදී සිහිපත් කරනු ලබයි.
රාම කුමරු පිළිගැනීම සඳහා අයෝධ්‍යාවේ ජනතාව පහන් දල්වා මුළු නුවරම ආලෝකවත් කළ බවට පුරාවෘත්තයේ සඳහන්ය දීපාවලී උත්සවයේ ප්‍රධාන දිනය වන අමාවක දිනයේදී බැතිමතුන් ධනය හා සෞභාග්‍යයට අධිපති ලක්ෂ්මී දේවියටත්, බාධා දුරු කරන ප්‍රඥාවේ හා නුවණේ අධිපති ගණේෂ දෙවියන්ටත් පුදපූජා පවත්වනු ලබයි.
කිරි සයුර කැළඹීමේදී ලක්ෂ්මී දේවිය පහළ වූ දිනය ද මෙදින ලෙස සැලකෙන බැවින්, ඉදිරි වසරේ සෞභාග්‍යය හා සාර්ථකත්වය වෙනුවෙන් ඔවුන්ගේ ආශීර්වාද ලබාගැනීම මෙම චාරිත්‍රවල අරමුණක් වෙනවා
තවත් පුරාවෘත්තයකින් කියැවෙන්නේ විෂ්ණු දෙවියන්ගේ තවත් අවතාරයක් වන කෘෂ්ණ දෙවියන් විසින් නරකාසුර නම් අසුරයා පරාජය කර, ඔහුගේ සිරකඳවුරේ රඳවා සිටි කුමාරිකාවන් 16,000ක් නිදහස් කිරීමයි.
ඒ වගේම මෙම ජයග්‍රහණය දීපාවලී උත්සවයේ දෙවැනි දිනය වන 'නරක චතුර්දශී' දිනයේදී සිහිපත් කරනු ලනයි දීපාවලී උත්සවයේ දින පහ දීපාවලී උත්සවය සාමාන්‍යයෙන් දින පහක් පුරා විවිධ ආගමික හා සංස්කෘතික චාරිත්‍ර සමඟ පැවැත්වේ. ධන්තේරස් (Dhanteras) උත්සවයේ පළමු දිනයයි.
නිවාස පිරිසිදු කර අලංකාර කිරීමත්, ධනය හා සෞභාග්‍යය වෙනුවෙන් ලක්ෂ්මී සහ කුබේර දෙවිවරුන්ට පුදපූජා පැවැත්වීමත් සිදු කෙරේ. එමෙන්ම වාසනාව හා සමෘද්ධිය සංකේතවත් කරමින් රන්, රිදී සහ වෙනත් වටිනා භාණ්ඩ මිලදී ගැනීමේ චාරිත්‍රයක් ද පවතී.
නරක චතුර්දශී (Naraka Chaturdashi) 'කුඩා දීපාවලී' ලෙස ද හැඳින්වෙන මෙම දිනය කෘෂ්ණ දෙවියන් නරකාසුර පරාජය කිරීම සිහිපත් කරයි.
අලුයම තෙල් ගා ස්නානය කිරීම ඇතුළු විශේෂ ආගමික චාරිත්‍ර මෙදින සිදු කෙරේ.
ලක්ෂ්මී පූජා (Lakshmi Puja) දීපාවලී උත්සවයේ ප්‍රධානතම දිනයයි.
අමාවක දිනයට යෙදෙන මෙදින රාත්‍රියේ ලක්ෂ්මී දේවියට පුදපූජා පවත්වා ධනය, සෞභාග්‍යය සහ යහපත ප්‍රාර්ථනා කරනු ලබයි.
නිවාස පුරා පහන් දල්වා ආලෝකවත් කිරීමත්, ගිනිකෙළි පැවැත්වීමත් සිදු වේ.
ගෝවර්ධන පූජා (Govardhan Puja)
ඇතැම් ප්‍රදේශවල නව වසරේ ආරම්භය සනිටුහන් කරන දිනයක් ලෙස ද මෙය සැලකේ. කෘෂ්ණ දෙවියන් ඉන්ද්‍ර දෙවියන්ගේ වර්ෂාවෙන් ජනතාව ආරක්ෂා කිරීම සඳහා ගෝවර්ධන කන්ද ඔසවා තැබීමේ පුරාවෘත්තය මෙදින සිහිපත් කෙරේ.
ව්‍යාපාරිකයන් නව ගිණුම් පොත් ආරම්භ කිරීම ද ඇතැම් ප්‍රදේශවල සිදු කෙරේ.
භායි දූජ් (Bhai Dooj) දීපාවලී උත්සවයේ අවසන් දිනය වන මෙය සහෝදර සහෝදරියන් අතර පවතින බැඳීම හා ආදරය දීර්ඝායුෂ, සතුට සහ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමින් ආශීර්වාද කිරීම මෙදින සිදු කෙරේ.
එකිනෙකා අතර රසකැවිලි, තෑගි සහ සුබපැතුම් හුවමාරු කරගැනීම මෙහි ප්‍රධාන සම්ප්රදායකි.
නිවාස පිරිසිදු කර අලංකාර කිරීමත්, වාසනාව හා සෞභාග්‍යය කැඳවීමේ සංකේතයක් ලෙස නිවෙස් ඉදිරිපිට වර්ණවත් කුඩු භාවිතයෙන් 'රංගෝලි' රටා නිර්මාණය කිරීමත් සිදු කරනු ලබයි දීපාවලී උත්සවය හින්දු ආගමිකයන්ට පමණක් සීමා වූවක් නොවේ.
ජෛන ආගමිකයන් මහාවීර තුමා නිර්වාණය අවබෝධ කරගත් දිනය සිහිපත් කරමින් දීපාවලී සමරති. එමෙන්ම සික් ආගමිකයන් ගුරු හර්ගෝබින්ද් ජී සිරභාරයෙන් නිදහස් වීම සිහිපත් කරන 'බන්දි චෝර් දිවාස්' දිනය දීපාවලී සමඟ සමරනු ලබයි .
මේ කරුණු අනුව දීපාවලී යනු හුදෙක් ආගමික උත්සවයක් පමණක් නොව, ජීවිතයට නව බලාපොරොත්තු, ධෛර්යය සහ ප්‍රීතිය එක්කරන සුවිශේෂී සංස්කෘතික මංගල්‍යයක් වන බව සදහන්ය
. අඳුර පරදා ආලෝකය දල්වමින්, වෛරය පරදා ආදරයත්, අයහපත පරදා යහපතත් ජයග්‍රහණය කරවීමේ පණිවුඩය ලොවට ගෙන එන දීපාවලී මංගල්‍යය සහජීවනය, සාමය හා සතුට බෙදාගැනීමේ උතුම් අවස්ථාවක් ලෙස ද සැලකිය හැකිය.