අඳුර දුරු වී ආලෝකය උදා වේවායි ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපාවලී උත්සවය අදයි
ඉන්දියානු සංස්කෘතික උත්සව අතර ප්‍රධාන ස්ථානයක් හිමි කර ගෙන ඇති ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවාකාරයෙන් සමරන දීපාවලී උත්සවය අද (08) දිනට යෙදී ඇත.
විෂ්ණු දෙවියන් විසින් නරකාසුර නමැති අසුරයා පරාජය කර යහපත හා ආලෝකය ජයග්‍රහණය කිරීම සිහිපත් කිරීමේ අරමුණින් මෙම දීපාවලී උත්සවය හින්දු බැතිමතුන්ගේ වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් වශයෙන් සමරයි.
ඒ අඳුර දුරු වී ආලෝකය උදා වේවා යැයි ප්‍රාර්ථනා කරමින් හින්දු බැතිමතුන් සිය නිවෙස්වල පහන් දල්වාලමින්.
එසේම නව සඳ උදාවට සමගාමීව පැවැත්වෙන දීපාවලී උත්සවය තුළින් අයහපත පරදා යහපතත්, අඳුර පරදා ආලෝකයත් ජයග්‍රහණය කිරීම සංකේතවත් කරයි.
මේ අතර අද (08) දිනට යෙදී ඇති දීපාවලී උත්සවය නිමිත්තෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබාදීමට අදාළ පළාත්වල ආණ්ඩුකාරවරුන් තීරණය කර ඇති අතර එම නිවාඩුව වෙනුවෙන් අහිමි වන පාසල් දිනය ආවරණය කිරීමට මෙම මස 14 වැනි සෙනසුරාදා දින අදාළ දෙමළ මාධ්‍ය පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට නියමිත බව සඳහන්.