වැඩ අරඹන්නත් කලින්ම දඹුල්ලේ ශීත ගබඩා සංකීර්ණය සුද්ද කරයි - දැඩි ආරක්ෂාව තිබියදී සිදුවූ මහා සොරකම මෙන්න
ආහාර දෙපාර්තමේන්තුවේ දැඩි ආරක්ෂාව යටතේ පවතින, මෙතෙක් ක්‍රියාත්මක නොකළ දඹුල්ලේ ශීත ගබඩා සංකීර්ණයේ සවිකර ඇති යන්ත්‍රෝපකරණවල තඹ බට කිසියම් පිරිසක් විසින් කපා සොරකම් කරගෙන ගොස් ඇති බව දඹුල්ල පොලිසිය සදහන් කරයි .
මෙම ගබඩා සංකීර්ණය 2025 වසරේ අප්‍රේල් මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබුවද, මේ දක්වා එය ක්‍රියාත්මක තත්ත්වයට පත් කර නොමැති බව සඳහන් වේ.
පොලිසිය ප්‍රකාශ කරන්නේ එළවළු සහ පලතුරු තෙතමනය හා උෂ්ණත්වය පාලනය කරමින් ගබඩා කිරීම සඳහා ඉදිකර ඇති මෙම සංකීර්ණයේ අභ්‍යන්තරයේ සවිකර තිබූ යන්ත්‍රෝපකරණවල තඹ බට විශාල ප්‍රමාණයක් මෙලෙස කපාගෙන ගොස් ඇති බවයි.
සොරකම් කරන ලද තඹ බටවල වටිනාකම ලක්ෂ ගණනක් වන බවට වාර්තා වන අතර, සිදුව ඇති සමස්ත පාඩුව මෙතෙක් නිශ්චිතව තක්සේරු කර නොමැත.
වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ පාලනය වන මෙම ගබඩා සංකීර්ණයේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් ආහාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මේ සම්බන්ධයෙන් අද (16) උදෑසන දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඔහු තහවුරු කර ඇත්තේ ආහාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව ද ඔහු සඳහන් කරයි.
මේ අතර, සොරකම සම්බන්ධයෙන් ආහාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ගබඩා සංකීර්ණයට පැමිණ අභ්‍යන්තර පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව වාර්තා වේ .
විශේෂත්වය වන්නේ වෙනත් පුද්ගලයින්ට ඇතුළුවීමට පවා නොහැකි වන පරිදි දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ මෙම පරිශ්‍රයේ ආහාර දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක නිලධාරීන් ද යොදවා තිබීමයි.
කෙසේ වෙතත්, අද (16) උදෑසන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට ගිය අවස්ථාවේදී ආහාර කොමසාරිස් ලාල් හේවාපතිරණ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ සිටිනු දැකගත හැකිව ඇත.