බන්ධනාගාරේ ඇතුලේ සයිනයිඩ් - කොහොමද ආවේ?
බන්ධනාගාර නිලධාරීන් විසින් හදිසියේම කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ කල සෝදිසි කිරීමකදී ‘ඒ’ වාට්ටුවේ සඟවා තිබූ අතිශයින් සැක කටයුතු ද්‍රාවණයක් සහිත කුඩා බෝතලයක් හමු වී තිබේ.
බන්ධනාගාර නිලධාරීන් සැක කරන්නේ මෙය වෙනත් රැඳවියෙකු ඝාතනය කිරීමේ අරමුණින් බන්ධනාගාරය තුළට ගෙන ආ සයනයිඩ් කුප්පියක් විය හැකි බවයි.
පෙරේදා (13) පස්වරු 5.00 ට පමණ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදුවූයේ බන්ධනාගාර අභ්‍යන්තරයට සයනයිඩ් විෂ රැගෙන විත් ඇති බවට ලද බුද්ධි තොරතුරකට අනුවය.
‘ඒ’ වාට්ටුව ආසන්නයේ ඇති තාප්පය අසල මෙම සැක කටයුතු ද්‍රාවණය සහිත බෝතලය සඟවා තිබී සොයා ගත් බවත් එලෙස සොයාගත් ද්‍රාවණය සයනයිඩ් බවට තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වීමට බොරැල්ල පොලිසියට භාර දී ඇති බවත් රිමාන්ඩ් බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකු පැවසුවේය.
මෙම විෂ බන්ධනාගාරය වෙත රැගෙන ආ ආකාරය පිළිබඳව අභ්‍යන්තර විමර්ශනයක් ද ආරම්භ කර ඇති අතර අදාල ද්‍රාවණය සයනයිඩ් බවට තහවුරු වුවහොත්, එම ඝාතකයන්ගේ ඉලක්කය වූ රැඳවියා කවුරුන්ද යන්න හෙළිකර ගැනීම පිණිස විමර්ශන පුළුල් කිරීමට නියමිත වේ.
මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය ද වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ.