රෝහල් රැසක ධාරිතාවය පිරී යයි..රටම දැඩි අවදානමක (VIDEO)

covid19 vaccination hemantha herath pavithra vanniarachchi channa jayasumana
By Sewvandhi Aug 04, 2021 04:22 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දැනට කිසිදු කොරෝනා එන්නතක් ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම හෙට උදෑසන 8.30 සිට විශේෂ මධ්‍යස්ථාන 5කදී සිදුකෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, අයි.ඩී.එච්. රෝහල, අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහරෝහල සහ විහාරමහාදේවි උද්‍යානයේදී එම එන්නත්කරණය සිදුකෙරෙන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

මෙරට එන්නත්කරණ වැඩසටහන කඩිනම් කිරීම සදහා විසි හතර පැය පුරා ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන දෙකක් බත්තරමුල්ල දියත උයනේ සහ විහාරමහාදේවි උද්‍යානයේ ස්ථාපිත කර තිබෙනවා. දිවයිනේ තවත් ස්ථාන කිහිපයකදීම එන්නත්කරණ කටයුතු අදත් සිදුකෙරුණු අතර ඊයේ දිනය තුළ පමණක් මෙරට එන්නත්කරණයට ලක් කර ඇති සංඛ්‍යාව 297,314ක්.

මේ අතර, ගිරිඋල්ල - පුස්කොලදෙනිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකුගේ නිවසට රාජකාරී සදහා ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළගැසීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළා. ඒ, සැකකරු අද පස්වරුවේ කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

48 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයාගේ පුත්‍රයා කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති අතර, ඔහු පිළිබඳව විමසීම සඳහා නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු නිවසට ගොස් තිබෙනවා. එම අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ රාජකාරියට බාධා කළ සැකකරු බීමතින් සිට ඇති බවටයි ගිරිඋල්ල පොලීසිය කළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අද දිනයේ මේ දක්වා කාලය තුළ අලුතින් කොරෝනා ආසාදිතයින් 2543 දෙනෙකු හදුනා ගැනීමත් සමග සමස්ත ආසාදිත සංඛ්‍යාව 318,737 දක්වා ඉහළ ගියා. එමෙන්ම, කොරෝනා ආසාදිතව සිටි 1754 දෙනෙකු අද සුවය ලැබීමත් සමග සුවය ලැබූ මුළු සංඛ්‍යාව දැක්වෙන්නේ 284,524 ක් ලෙසයි.

මේ අතර, කරාපිටිය රෝහලේ කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් පෙන්නුම් කිරීම සහ රෝහල් කාර්ය මණ්ඩලය තුළින් ද ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන තත්ත්වයක් උද්ගතව ඇති බැවින් කොරෝනා ප්‍රතිකාර සදහා වෙන් කර ඇති වාට්ටුවල ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් අද සිට එම රෝහල තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර, රෝහල්වල ඇඳන් ධාරිතාව ඉක්මවා ඇති බවට පළ වූ වාර්තා සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි අද රාගම රෝහල් හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ රාජ්‍ය සේවයේ සියලුදෙනා සේවයට කැඳවමින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයට විරෝධය පළ කරමින් හෙට උදෑසන හයේ සිට දහවල් 12 දක්වා දිවයිනේ සියලු රෝහල්වල සමස්ත කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි.

මීට අමතරව මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය ඇමරිකාවේ ලාස් වේගාස් හිදී පැවැත්වීමට තරඟ සංවිධායකයින් තීරණය කර තිබෙනවා. පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තරගාවලිය ලබන වසරේ ජනවාරි 9 වන දා සිට 16 වන දා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now