උඹට හිරගෙදරම ගල්නේද?.. බන්ධනාගාර නිළධාරියෙකු දන ගස්වා පහර දුන් සිදුවීම..

CID - Sri Lanka Police
By Sithumi May 13, 2023 01:50 PM GMT
Sithumi

Sithumi

Report

බන්ධනාගාර නියාමකවරයෙකුව දණගස්වා පහරදීමේ සිද්ධියක් වාර්තා වනවා.

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ මිනුවන්ගොඩ පිහිටි නිවසට කඩා වැදුණු නාදුනන පුද්ගලයින් තිදෙනෙකු එලෙස ඔහුව දණගස්වා පහරදී මරණීය තර්ජනය කර පළාගොස් තිබෙනවා වාර්තා වනන්නේ කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ විනය අංශයේ තරුණ නියාමකවරයෙකු වන සංඛ කුසල් මාරසිංහ නම් නිලධාරියාගේ මිනුවන්ගොඩ පිහිටි නිවසට ඊයේ අළුයම 4ට පමණ එම සැකකරුවන් තිදෙනා යතුරුපැදියකින් පැමිණ ඇති බවයි.

අදාළ නිලධාරියා බන්ධනාගාරය තුළ සිදුවන හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ අයෙක් වන අතර ඒ හේතුවෙන් බන්ධනාගාරය තුළ සිටින රැඳවියෙකුගේ උපදෙස් මත මෙය සිදුවී ඇති බවට පොලීසිය සැක පළ කළා. එලෙස පැමිණි අයෙක් අදාළ නිලධාරියාගේ නිවසේ දොරට තට්ටු කරමින් මහත්තයා දොර අරින්න යනුවෙන් පැවසූවිට අදාළ නිලධාරියාගේ මව දොර විවෘත කර තිබෙන අතර කළු පැහැති ජැකට්වලින් සැරසී සිටි තිදෙනා එසැනින් නිවස තුළටයි ඇතුළුවී ඇත්තේ.

ඒ සමගම අදාළ නිලධාරියා කාමරයක් තුළ සිට පිටතට පැමිණ ඇති අතර නිවසට ඇතුළුවූ තිදෙනා ඔහුට පහරදී ZIP  TIE පටියක් දෙඅත්වලට දැමීමට උත්සාහ දරා තිබෙනවා එය ව්‍යාර්තවීම නිසා ඔවුන්ගෙන් අයෙක් තමාගේ හිසට පිස්තෝලයක් තබා මරණ තර්ජනය කළ බව බන්ධානාගර නියාමකවරයා පොලීසියට පවසා තිබෙන අතර අනතුරුව මැරයින් තිදෙනා අදාළ නිලධාරියාට මෙසේ පවසා තිබෙනවා

"උඹට හිරගෙදරම ගල්නේද?.. උඹ දැන් අපි ඉස්සරහත් ගල්වෙලා නේද?.. උඹ හිරගෙදර හදන්න එන්න එපා. හිරගෙවල් හදන්න උඹට බැහැ. හිර ගෙදරට කුඩු එන එක උඹට නවත්වන්න බැහැ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳපන්. පොලීසියට ගියොත් බලාගන්නම්." යනුවෙන් පවසා තිබෙනවා.

පැමිණි තිදෙනාගෙන් අයෙක් සිදුවීම ජංගම දුරකථනයකින් වීඩියෝ කර තිබෙන අතර පසුව ගිනි අවියෙන් බන්ධනාගාර නිලධාරියාගේ හිසට පහරදී ඔවුන් පළාගොස් ඇති අතර අනතුරුව එම නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර මිනුවන්ගොඩ රෝහලට ඇතුළුවී තිබෙනවා.

පසුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට අද (13) දහවල් මාරුකර යවා තිබෙන අතර මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති අතර රාජය බුද්ධි අංශය ද මේ පිළිබඳව විමර්ශනයක් සිදුකරනවා.

පහරකෑමට ලක්වූ නිලධාරියා කොළඹ නව මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙනඒම වැළැක්වීම සඳහා පසුගිය කාලයේ සාර්ථක මෙහෙයුම් රැසක් සිදුකර ඇති බවයි අනාවරණය වුණේ.

ඒ හේතුවෙන් ඔහු සමග අපනාප වූ රැඳවියෙකු මෙම ප්‍රහාරය සැලසුම්කර ඇති බව බන්ධානාගාර ආරංචිමාර්ග පවසනවා එමෙන්ම මෙම නිලධාරියාට මීට පෙරද විවිධ පුද්ගලයින් දුරකථන මාර්ගයෙන් මරණ තර්ජන සිදුකර තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මේ අතර සූරියවැව යුද හමුදා කඳවුරේ කෝප්‍රල්වරයෙකු අනතුරට පත්කර පළාගිය රථයක් සොයා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර අනතුරෙන් කෝප්‍රල්වරයා මියගොස් ඇති බවයි වැලිපැන්න පොලීසිය සඳහන් කළේ.

මෙසේ මියගොස් ඇත්තේ සූරියවැව යුද හමුදා කඳවුරේ රාජකාරි කළ ලාන්ස්කෝප්‍රල්වරයෙකු වන චතූ මනෝජ් නමැති 43 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු මානාන, හොරවල, වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි අයෙක් බව වාර්තා වනවා.

වැලිපැන්න පොලීසිය සහ ගබඩා හන්දිය අතර ප්‍රදේශයේදී අද (13) අලුයම අනතුර සිදුවී තිබුණා. අනතුරෙන් තුවාල ලැබූ ලාන්ස්කෝප්‍රල්වරයා කළුතර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.