ජනවාරි සිට එන්නත් කාඩ් පත අනිවාර්යයි.. නැත්නම් සිදු වන දේ .

sri lanka Vaccsine
By Sithumi Dec 19, 2021 01:16 PM GMT
Sithumi

Sithumi

Report

ජනවාරි මස 01 වනදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීමේ දී කොවිඩ් එන්නත් කාඩිපත් අනිවාර්යය කිරීමට රජය තීරණය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා ඉදිරි පියවර ගනිමින් සිටින බවය. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගම්පහ දිස්ත්‍රික් කොවිඩ් කමිටු රැස්වීමේදී ඇමතිවරයා මේ බව සඳහන් කළේය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේ තමන්ට ලැබෙන පළමු අවස්ථාවේ දි නියමිත කොවිඩ් එන්නත ලබාගැනීම සමස්ථ පුරවැසියන්ගේ වගකීමක් බවය.

"කොවිඩ් කමිටුව තීරණයක් ගත්තා ජනවාරි 01 වනදා ඉඳන් QR කෝඩ් එක නැත්තම් පොදු ස්ථානවලට යන්න බෑ කියලා. යෝජනා කරලා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙනකොට එන්නත නැත්තම් යන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා මිනිස්සුන්ව දැනුවත් කරලා පුලුවන් තරම් එන්නත ලබාගන්න උනන්දු කරන්න."

මේ වනවිට මෙරට 15,964,289 පිරිසක් එන්නත් පළමු මාත්‍රාව ලබාගෙන ඇත. මාත්‍රා දෙකක් ලබාගෙන ඇති පිරිස 13,803,820කි. ගම්පහ දිස්ත්‍රික්කයේ 1,554,292 කට මේ වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත. මේ වන විට බූස්ටර් එන්නත ලබාදීම ද ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුකරන බවත්, එහෙත් ඒ සඳහා ජනතාවගේ වැඩි උනන්දුවක් නොමැති බවත් මෙහිදී සෞඛ්‍ය බලධාරීන් පෙන්වාදී තිබේ.

බූස්ටර් එන්නත ලබාගැනීම සඳහා ජනතාව උනන්දු කිරීම ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසද ඇමතිවරයා පවසා තිබේ.

දෙසැම්බර් 31 වන දිනට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ බුස්ටර් එන්නත ලබාදී අවසන් කිරීමට කටයුතු කරන ලෙස ද ඇමතිවරයා මෙහිදී අදාළනිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දී තිබේ. මේ අතර කොවිඩ් කාලසීමාවේදී පළාත් පාලන ආයතන මගින් සෞඛ්‍ය අංශ වෙත අවශ්‍ය සම්පත් ලබාදීම හා මහජන සේවාවන් සැලසීමට ගත් පියවර සම්බන්ධයෙන් ඇතැම් පළාත් පාලන ආයතනවලට එරෙහිව විගණන පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පළාත් පාලන ආයතන ප්‍රධානීන් මෙහිදී ඇමතිවරයාට පැමිණිලි කර ඇත

. එය දිස්ත්‍රික් කොවිඩ් කමිටුවේදී ගත් තීරණයක් අනුව ක්‍රියාත්මක වූ බැවින් ඒ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණයේදී කරුණු ඉදිරිපත් කරන ලෙස ඇමතිවරයා ඔවුන්ට උපදෙස් දී තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now