ජනවාරි වන විට මෙරටින් මරණ 30000 ක් ? වැළැක්වීමට නිර්දේශ නිකුත් කෙරේ

Sri lanka covid 19 Corona virua
By Sithumi Aug 13, 2021 02:11 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය පාලනය කළහොත්, ලබන වසරේ ජනවාරි මාසය වනවිට ශ්‍රී ලංකාවේ ජීවිත 18,000ක් බේරාගැනීමට හැකිවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එසේ නොවුවහොත්, ලබන වසර ආරම්භය වන විට මෙරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 30,000 දක්වා ඉහළ යනු ඇති බව එම සංවිධානය පුරෝකථනය කරයි.

ශ්‍රී ලංකාවේ වත්මන් කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය, ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය සහ මෙරට විශේෂඥ වෛද්‍යවරුන් 14 දෙනකු සමග සමීක්ෂණයක් සිදුකර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (13) ලබාදුන් අදාළ සමීක්ෂණ වාර්තාව මගින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ රැසක් ඉදිරිපත්කර ඇත්තේ ඉදිරියේදී ඇතිවිය හැකි කොවිඩ් අවදානම අවම කරගැනීම සඳහා ය.

ඒ අනුව දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා වර්තමාන කොවිඩ් තත්ත්වය පාලනය සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ, අත්‍යාවශ්‍ය සේවා හැර දිස්ත්‍රික් අතර සංචරණ සීමා පැනවිය යුතු බවය. ඒ සඳහා දිවයිනම ආවරණය වන පරිදි හෝ විශාල භූමි ප්‍රදේශ ආවරණය වන පරිදි කෙටි කාලයකට හෝ ඇඳිරි නීතිය පැනවිය යුතු බව එම සංවිධානය නිර්දේශ කර තිබේ.

එමෙන්ම සති 03ක කාලයකට සියලු උත්සව නැවැත්විය යුතු බවට එම සංවිධානය ලබාදී ඇති තවත් නිර්දේශයකි. එමෙන්ම කොවිඩ් ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය සේවයට එල්ලවන බලපෑම් අවම කිරීම සඳහා සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පියවර ගත යුතු බව ද එම සමීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි. 

 ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ, වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සියලුදෙනා එන්නත්කරණ වැඩසටහනට සහභාගී කරවීම අනිවාර්යයෙන් සිදුකළ යුත්තක් බවය. අදාළ ක්‍රියාමාර්ග ගැනීම තුළින් ඔක්තෝබර් මස වනවිට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 1,000 දක්වා පහළ යනු ඇති බව එහි දැක්වෙයි. එම ක්‍රියාමාර්ග ගැනීමෙන් එමෙන්ම දෛනික මරණ සංඛ්‍යාව ද 25ට අඩුවෙන් තබාගැනීමට හැකිවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කර තිබේ. 

 එමෙන්ම කොවිඩ් දැඩි සත්කාර ඒකක ධාරිතාව සියයට 25 දක්වා පහළ දමාගැනීම තුළින් සෞඛ්‍ය සේවාවට එල්ලවන බලපෑම අවම කරගැනීමට ද හැකිවනු ඇති බව එම වාර්තාවේ සඳහන් වෙයි. කෙසේ වෙතත් එම සංවිධානය පෙන්වා දෙන්නේ, අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත් සැප්තැම්බර් මස මැද වන විට දෛනික ආසාදිතයින් වාර්තාවීම 6,000 දක්වා ඉහළයන බවය. 

එසේ වුවහොත් ඔක්තෝබර් මස මුලදී දෛනික මරණ සංඛ්‍යාව 220 දක්වා උපරිම මට්ටමට ළඟාවනු ඇති බව එහි දැක්වෙයි. ඒ අනුව ලබන වසරේ ජනවාරි මස වන විට ශ්‍රී ලංකාවේ සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 30,000 දක්වා ඉහළ යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය සමීක්ෂණ වාර්තාව මගින් පුරෝකථනය කොට තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now