අසෝක රන්වල අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
හෙයියන්තුඩුව, දෙනිමුල්ල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු කතානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක සපුමල් රන්වල මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා වරෙන්තු නිකුත් කර තිබේ.
මෙම සිද්ධිය ඉකුත් ජූනි 13 වැනිදා අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරු පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදු විය.
අද සපුගස්කන්ද පොලිසියේ රථවාහන අංශය විසින් අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් අධිකරණයේ ගොනු කර ඇත. එහිදී ඔහුට එරෙහිව ගොනු කර ඇති චෝදනා මෙසේය:
- රිය අනතුරක් වළක්වා නොගැනීම
- අපරීක්ෂාකාරීව රිය ධාවනය කිරීම
- බරපතල තුවාල සිදු කිරීම සුලු තුවාල සිදු කිරීම
- ධාවනයට නුසුදුසු වාහනයක් ධාවනය කර බරපතල තුවාල සිදු කිරීම
සිදුවීම සිදු වූයේ අසෝක සපුමල් රන්වල මහතා පැදවූ ජීප් රථයක් මෝටර් රථයක හා යතුරු පැදියක ගැටීමෙන්.
එහිදී මෝටර් රථයේ ගමන් කළ එකම පවුලේ මවක්, මාස හතක් පමණ වයසැති දරුවෙකු හා දරුවාගේ මිත්තනිය බරපතල තුවාල ලැබූහ.
මෙම නඩුවේ වැඩිදුර කැඳවීම ලබන ජූලි මස 10 වැනිදාට කල් තැබීමට අධිකරණයෙන් නියම කර ඇත.
සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගැමුණු ගුණරත්න මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ උප පොලිස් පරික්ෂක ටී.එම්. ජී. තෙන්නකෝන්, නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් චමින්ද (478) හා පොලිස් කොස්තාපල් ජයසිංහ (103658) යන නිලධාරීන් මෙම පැමිණිල්ල මෙහෙය වූහ.