මාලිමාවේ යෝජනාව සජබෙන් ප්‍රතික්ෂේප කරලා
හැටන් දික්ඔය නගර සභාවේ පළමු මාසික රැස්වීම ජාතික ජන බලවේගයේ සභාපති අසෝක කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි 18 වැනිදා සභා රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
මෙහිදී, සභාපතිවරයා සභාවට යෝජනාවක් ඉදිරිපත් කරමින් සදහන් කළේ තමන්ට ක්ෂණික වියදම් සඳහා ලබා දී ඇති රු.10,000ක සීමාව ප්‍රමාණවත් නොවන බැවින් එය වැඩි කරදෙන ලෙසයි.
එම යෝජනාව පිළිබඳව අදහස් දැක්වූ සමගි ජන බලවේග නගර සභා මන්ත්‍රී අලගමුත්තු නන්දකුමාර් මහතා, නගර සභාවේ ලේකම්වරියගෙන් විමසූයේ පළාත් පාලන කොමසාරිස්වරියගෙන් ලිඛිත අනුමැතියක් හෝ චක්‍ර ලේඛනයක් ලැබී ඇත්දැයි යන්නය.
එවන් ලේඛනයක් තිබේ නම් එය සභාවට ඉදිරිපත් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
ඊට පිළිතුරු ලෙස, වැඩ බලන ලේකම්වරිය සඳහන් කළේ මෙම මුදල අවස්ථානුකූලව වැඩි කිරීමට මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරිය විසින් වාචික උපදෙස් ලබාදී ඇති බවයි.
නන්දකුමාර් මහතා නැවත සදහන් කළේ, ක්ෂණික වියදම් සීමාව වැඩි කිරීමට නම් ලිඛිත අනුමැතියක් ලබාගත යුතු බවත්, එවැනි ලිඛිත අනුමැතියකින් තොරව ඒ සදහා සභාවේ අනුමැතිය ඉල්ලා සිටිය නොහැකි බවත්ය.
එමෙන්ම, ජාතික ජන බලවේග නාගරික මන්ත්‍රී පතිරණ කංකානම්ලාගේ චුල්ල ජයන්ත ධර්මප්‍රිය මහතාද දැක්වූ අදහස වූයේ, චක්‍ර ලේඛන වලට පටහැනිව කටයුතු කිරීමට කිසිවෙකුට නෛතික බලයක් නොමැති බවත්, සභාපතිවරයාට වියදම් සීමාව වැඩි කරවීම සදහා නිසි අනුමැතිය ලිඛිතව ලබා ගැනීම අනිවාර්ය බවත්ය.
