SLIIT ආයතනය නීතිවිරෝධී ලෙස පූර්ණ පෞද්ගලිකරණය කරයි
මහපොළ අරමුදලට අයත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) නීතිවිරෝධී ලෙස සම්පූර්ණ පෞද්ගලික ආයතනයක් ලෙස පරිවර්තනය කර ඇති බව පැහැදිලි වන අතර, එය නැවත මහපොළ අරමුදල මඟින් පාලනය වන ආයතනයක් ලෙස පිහිටුවීම සඳහා නීතිමය පියවර ගත යුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් නිර්දේශ කර ඇත.
මෙයට අදාළව අත්‍යවශ්‍ය පියවර ගන්නා ලෙස කෝප් සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා විසින් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලෙන්තිර රාජා මහතාට සහ මහපොළ භාරකාර අරමුදලේ සභාපති, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතාට නිර්දේශ කර ඇත.
මෙම නිර්දේශ, 2022 සහ 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා 2025 ජූලි 09 වැනිදා පැවැති කෝප් කමිටු හමුවේදී නිකුත් කරන ලදී.
2015 දී අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව SLIIT ආයතනයට එම වත්කම පවරා දීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බවත්, එවකට සිටි අමාත්‍යවරයාගේ අනුමැතිය මත සිදු වූ ඒ පිළිබඳ ගිවිසුම දීර්ඝව සාකච්ඡා වී ඇති බවත් එහිදී පෙන්වා දෙන ලදී.
SLIIT ආයතනය මහපොළ අරමුදලට රුපියල් මිලියන 408ක මුදලක් ගෙවා තිබුණද, අරමුදලටම අයත් ආයතනයක් විසින් එවැනි මුදලක් ගෙවා අයිතිය ලබාගැනීම තීවරව ගැටළු සහගත බව කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන් පැවසීය.
ඒ අනුව, මෙවැනි නීතිවිරෝධී සහ වංචාකාරී ක්‍රියාවන් අනාගතයේදී වැළැක්වීම සඳහා වගකියුම්දරයන්ට සුදුසු දඬුවම් ලබාදිය යුතු බව කෝප් සභාපතිවරයා අවධාරණය කළේය.
