රටටම සුබ ආරංචියක් - සුන්දර කොළඹ-පේරාදෙණිය දුම්රිය ගමන යළිත් ඔක්තෝබරයේ සිට
‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානි වූ කොළඹ සහ පේරාදෙණිය අතර දුම්රිය සේවය ලබන ඔක්තෝබර් මාසයේදී යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
ඔහු සඳහන් කළේ ගංවතුර තත්ත්වයෙන් දැඩි හානියට පත් ප්‍රධාන දුම්රිය මාර්ගයේ රඹුක්කන සහ කඩුගන්නාව අතර කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු සැප්තැම්බර් 15 වැනිදා වන විට අවසන් කිරීමට නියමිත බවයි.
දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව නායයෑම් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 97කට දැඩි බලපෑම් එල්ල වී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
රඹුක්කන සිට කඩුගන්නාව දක්වා වූ මාර්ගයේ ස්ථාන කිහිපයක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටත් අවසන් කර ඇති අතර, ඉතිරි ස්ථාන දෙකෙහි වැඩ කටයුතුද කඩිනමින් සිදුකෙරෙමින් පවතින බව ඔහු පැවසීය.
දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය භාරව කටයුතු කරන සමාගමේ අඩවි ඉංජිනේරු තිළිණ ස්වර්ණමාල් මහතා සඳහන් කළේ රඹුක්කන - කඩුගන්නාව කොටසේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි.
එම කටයුතු සැප්තැම්බර් 15 වැනිදා වන විට සම්පූර්ණයෙන් අවසන් කිරීමට හැකි වනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය. මේ අතර, පේරාදෙණිය කළු පාලම හෙවත් ‘Devil’s Bridge’ හි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහාද තවත් බාධාවක් මතුව තිබේ.
මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඉදිකිරීම් සඳහා යොදාගෙන තිබූ යන්ත්‍රෝපකරණ ජලයෙන් යටවීම නිසා එම කටයුතුවලට බලපෑම් එල්ල වී ඇත. කෙසේ වෙතත්, කළු පාලමේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කර කොළඹ සහ මහනුවර අතර දුම්රිය සේවය ඉක්මනින් යළි ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.