ජාතික රෝහලේ මිනී ගොඩ ගැසෙයි... හඳුනා නො ගත් සිරුරු 97ක්..භයානක තත්ත්වයක්(VIDEO) .

Covid Colombo national hospital Death body
By Aruna Aug 11, 2021 12:53 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් මෘත දේහ කළමනාකරණය සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති අවස්ථාවක කොළඹ ජාතික රෝහලේ හඳුනානොගත් මළ සිරුරු 40ක් ඇති බවට අද අධිකරණයේදී හෙළි වුණා.

2017 වසරේ සිට එකතු වී ඇති අදාළ සිරුරු භූමදානය සඳහා නීතිපති දෙපාර්තමේන්තුව මාලිගානක්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමට අද අවසර හිමිවී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ මෘත ශරිරාගාරය සතු මෘත දේහ බහාලුම් සංඛ්‍යාව 58ක්.

කෙසේ වෙතත් කොවිඩ් මරණ ඉහළ යාමත් සමඟ මේ වන විට එහි ගොඩ ගැසී ඇති මෘතදේහ ප්‍රමාණය ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති මෘත දේහ සංඛ්‍යාව 77ක්. බාහිර ශීතාගාරද යොදා ගනිමික් තැන්පත් කර ඇති එම මෘත දේහ අතරින් 21ක්ම කොවිඩ් මරණ බවයි වාර්තා වන්නේ.

ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ ඇති මෘත දේහ 77න් 40ක්ම 2017 වසරේ සිට ගොඩ ගැසී ඇති හඳුනානොගත් මළ සිරුරු බවයි මරදාන පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ.

ඒ අනුව එම මළ සිරුරු භූමදානය කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර දෙන ලෙස මරදාන පොලිසිය ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද ඉල්ලා සිටියේ අදාළ මළ සිරුරු මඩකලපුව ඕට්ටමාවඩි ප්‍රදේශයේ භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙසයි.

ඇතැම් පිරිස් අදාළ මළ සිරුරු කොවිඩ් මරණ ලෙස හුවා දක්වමින් සෞඛ්‍ය අංශ අපහසුතාවට පත්කිරීමේ උත්සහයක නිරත වන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණේයේදී පෙන්වා දී තිබෙනවා.

එම මෘත දේහ 40 වෙන් වෙන්ව අධීක්ෂණය කර, DNA පරීක්ෂණ සඳහා සාම්පල ලබාගෙන, ඇඟළි සලකුණුද ලබාගැනීමෙන් පසු අද දිනයේ ඕට්ටමාවඩි ප්‍රදේශයේ භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙසයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී ඉල්ලා ඇත්තේ.

ඒ අනුව එම ඉල්ලීම සඳහා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේදී සඳහන් කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුල තවත් හඳුනා නොගත් මළ සිරුරු 97ක් පවතින බවයි.

මෙම සතිය ඇතුලත අදාළ මරණ පිළිබඳවද කරුණු වාර්තා කර ඒවාද භූමදානය කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගැනීමට බලාපොරොත්තුවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ඇති හඳුනානොගත් මළ සිරුරු පිළිබඳ මරණ පරීක්ෂණ හෙට පෙරවරුවේ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදු කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now