සිරි නරඹන්න දුම්රියෙන් ගිය චීන කතට ඇඟ හිරිවැටෙන අකරතැබ්බයක් - සියල්ල කැමරාවේ පටිගත වෙයි ( VIDEO)

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Aug 07, 2023 09:27 AM GMT
Sewvandhi

Sewvandhi

Report

උඩරට මැණිකේ (කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු )දුම්රියේ සිට දුරකථනයෙන් පරිසරය වීඩියෝ ගත කරමින් ගමන් ගත් චීන ජාතික කාන්තාවක් අකරතැබ්බයකට මුහුණ දී තිබේ.

ඒ ඇයගේ දුරකථනය මංකොල්ලකෑමට දුම්රිය මාර්ගයේ රැක සිටි තරුණයින් තිදෙනෙකු විසින් පොල්ලකින් පහරදීම හේතුවෙනි.

පහරදීම සිදුකරන අයුරු චීන ජාතික කාන්තාවගේ දුරකථනයේ සටහන්ව තිබූ අතර ඇයගේ අතට ද තුවාල සිදුව තිබුණි. ලියු කුයින් නැමති චීන ජාතික කාන්තාව ඇයගේ සැමියා සහ දියණිය සමග සංචාරයක් සඳහා ලංකාවට පැමිණ, මාර්ග උපදේශකයෙකු සමග ඇල්ල දුම්රිය ස්ථානය වෙත යමින් සිටිය දී මෙම කරදරයට මුහුණ දී තිබුණි.

ජනේලයෙන් පිටත ජංගම දුරකථනයෙන් පටිගත කරමින් සිටි ඇයට නාවලපිටිය, ඉඟුරුඔය දුම්රිය ස්ථානයට ළඟාවෙන අවස්ථාවේ දී අදාළ පහරදීම සිදුව ඇත. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසියට කළ පැමිණිල්ල අනුව වහාම සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් අයෙක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් ඉඟුරුඔය ප්‍රදේශයේම පදිංචි අවුරුදු 22ක් හා 24ක් වන තරුණයින් දෙදෙනෙක් වන අතර, ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවත් මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප මත මුදාහැර සිටින පිරිසක් වන බවත් පොලීසිය පැවසීය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව චීන ජාතික කාන්තාව පොලීසිය වෙත වට්ස්ඇප් පණිවුඩයක් යොමුකර ඇති අතර එහි මෙලෙස ද සටහන්ව තිබුණි.

"මම සහ මගේ පවුලේ අය ලංකාවට ඉතා කැමතියි. මේ රට සහ මිනිසුන්, සෑම සිනහමුසු මුහුණක්ම, සෑම සුළඟක්ම අපව ස්පර්ශ කරයි. ඉඳහිට සිදුවන මෙවැනි නරක සිදුවීමක් නිසා ශ්‍රී ලංකාව පිළිබඳ මගේ හිතේ පවතින යහපත් හැඟීමට බලපෑමක් ඇති වීමට මම ඉඩ තබන්නේ නැත... චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සදාකල් පවතිනු ඇත."


ReeCha