QR වලින් ඉන්ධන ලැබෙන විදිහ ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්
මේ වනවිට ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් QR කේතය ක්‍රියාත්මක කළ ද රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් මතු වී නැති බව ඛනිජ තෙල් සංස්ථාවේ අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කර තිබේ .
රට තුළ හදිසි තෙල් අවශ්‍යතාවයක් මතු වුවහොත් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව, චීනය ඇතුළු රටවල් කිහිපයක් සමග සාකච්ඡා පවත්වා ඇති බවත් එය ඉතා සාර්ථක මට්ටමක පවතින බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු තව දුරටත් සදහන් කර තිබේ.
තවද අධ්යක්ෂවරයා සදහන් කළේ අද (15) උදෑසන 6.00 සිට QR කේතයට අනුව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර මුලින්ම අවස්ථාව ලබා දී ඇත්තේ මීට පෙර QR කේතය ලබා ගත් ඊට අදළ වාහනය සහ දුරකථන අංකය තමා ළඟ ඇති පිරිසට වන බවයි .
මීට පෙරදී භාවිත කළ QR කේතය ඇත්නම් එය භාවිත කළ හැකි බවත් එමෙන්ම මෙහිදී ඔහු ප්‍රකාශ කර තිබේ.
ඛනිජ තෙල් සංස්ථාවේ අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා දැනුම් දුන්නේ QR කේතය නොමැති නම් https://fuelpass.gov.lk/ වෙබ් අඩෙවිය හරහා ඔබට හිමි QR කේතය බාගත කර ගත හැකි බවයි.
එමෙන්ම තමාගේ වාහනයේ අයිතිය වෙනස් වී ඇත්නම්, දුරකථන අංකය වෙනස් කර ඇත්තම් හෝ මීට පෙර QR කේතය ලබා නොගත් වාහනයක් නම් අදාළ වෙබ් අඩවියේ vehicle registration අංශය වෙත පිවිසීම හරහා QR කේතය ලබා ගත හැකි වන බවද එතුමා සදහන් කරයි.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ වෙබ් අඩවියේ vehicle registration අංශය තව පැයකින් පමණ යාවත්කාලීන වන බවයි ඒ අනුව අද දිනයේ සිට QR කේතය නොමැතිව ඉන්ධන ලබා ගත නොහැකි බව අධ්යක්ෂවරයා සඳහන් කරයි .
මේ සම්බන්ධව තව දුරටත් අදහස් දැක්වූ ඛනිජ තෙල් සංස්ථාවේ අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සදහන් කළේ මෙවන් අදහසක්
''පහුගිය දවස් තුන හතර ඇතුළත අපි දැක්කා බොහෝ දෙනා ඉන්ධන එකතු කරනවා ඒ වගේම මාධ්‍ය සාකච්ඡා තියලා තෙල් පෝලිම් ඇති කරනවා.. ඒකෙන් භයානක තත්ත්වයක් උද්ගත වෙන්න පුලුවන් වෙයි කියලා හිතුන නිසයි QR කේතය භාවිතයට යොමු වුණේ.. ඒ ඇරෙන්න තෙල්වල ප්‍රශ්නයක් නෑ.. මේකේ බලාපොරොත්තුව කිසිම කෙනෙක්ට තෙල් පෝලිම්වල නොඉද තෙල් ලබා දෙන එක.. ''