මාළු මිල අඩු වෙයිද? මෙන්න විස්තරේ

Report

ලංකා ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් සහ ඉදිරි සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී ජනතාවට සහන මිලට මත්ස්‍ය නිෂ්පාදන ලබාදීම ඉලක්ක කර ගනිමින් විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (06) දින ධීවර සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විය.

  ඒ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි .

මෙම අවස්ථාවට ධීවර සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගී වී තිබුණි.

  ‘අලුත් අවුරුද්දට අලුත් මාළු අලුත් මිලට’ යන තේමාව යටතේ කොප්පරා සහ සප්පරා වැනි මසුන් සහනදායී මිලකට ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රකාශ කර තිබේ .

මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත්තේ ජනාධිපතිතුමන් විසින් ලබා දෙන ලද ප්‍රතිපාදන මත ධීවර සංස්ථාවේ සේවකයින්ගේ සේවක අර්ථසාධක අරමුදල් (EPF) සහ පාරිතෝෂික (Gratuity) දීමනා ගෙවීම කඩිනම් කිරීම පිළිබඳවයි .

භාණ්ඩාගාර ප්‍රතිපාදන මගින් ණය පියවීම සහ ජපන් ආධාර යටතේ ලැබෙන අධිශීතකරණ ට්‍රක් රථ (Freezer Trucks) ව්‍යාපෘතිය මෙන්ම, රුපියල් මිලියන 86ක වියදමින් ඉදිකෙරෙන මෙට්‍රික් ටොන් 150ක ධාරිතාවයෙන් යුත් නව අධිශීතනාගාරය සහ බ්ලාස්ට් ෆ්‍රීසර් (Blast Freezer) ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ද මෙහිදී පියවර ගෙන තිබේ .

රජය දුෂ්කරතා මැද වුවද සේවක සුබසාධනය වෙනුවෙන් කැපවී සිටින බවත්, මෑතකදී ලබා දුන් රු. 10,000ක දිරි දීමනාව ඒ සදහා සාක්ෂියක් වන බවයි .

ඒ වගේම ඔහු තවදුරටත් අවධාරණය කළේ පක්ෂ භේදයකින් තොරව ආයතනයේ දියුණුව වෙනුවෙන් සහෝදරත්වයෙන් කටයුතු කරන ලෙසත්, ආයතනික පිරිසිදුකම සහ පිළිවෙළ පවත්වාගෙන යාම සැමගේ වගකීමක් බවයි.

මින් ඉදිරියට ශක්‍යතා අධ්‍යයනයකින් තොරව අලෙවිසැල් ආරම්භ නොකරන බවත්, බස්නාහිර පළාත තුළ අලෙවි ජාලය පුළුල් කිරීමට සහ ත්‍රිරෝද රථ මගින් මත්ස්‍ය නිෂ්පාදන රට අභ්‍යන්තරයට බෙදා හැරීමට පියවර ගන්නා බව ධීවර සංස්ථා සභාපති මොහොමඩ් නසාර් මහතා සඳහන් ක‍ර තිබේ