වැටුණු රුපියල යලිත් පණ ගසද්දී මහ බැංකුව ඩොලර් මිලියන 96ක් මිලදී ගනී
දේශීය මුදල් ඒකකය වන රුපියල පසුගිය මාස කිහිපය තුළ වසර හතරක අවම අගය දක්වා පහත වැටීමෙන් අනතුරුව යළි ස්ථාවර වීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව 2026 ජුනි මාසයේදී ශුද්ධ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 70.5ක් මිලදී ගෙන ඇති බව නිල දත්තවලින් අනාවරණය වේ.
එම දත්ත අනුව ජුනි මාසයේදී මහ බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 96.3ක් මිලදී ගෙන ඇති අතර, ඩොලර් මිලියන 25.8ක් විකුණා තිබේ. ඊට පෙර මැයි මාසයේදී මහ බැංකුව ශුද්ධ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 211කට අධික ප්‍රමාණයක් විකුණා තිබූ අතර, එය මාස 22කට පසු මහ බැංකුව ශුද්ධ වශයෙන් ඩොලර් අලෙවි කළ පළමු අවස්ථාව විය.
2026 වසරේ මුල් මාස හය තුළ මහ බැංකුව ශුද්ධ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 556.4ක් මිලදී ගෙන ඇති අතර, 2025 වසරේදී එම අගය ඇමරිකානු ඩොලර් බිලියන 2ක් ලෙස වාර්තා වී තිබිණි.
මැයි මාසයේදී රුපියලට දැඩි අවප්‍රමාණ පීඩනයක් එල්ල වූයේ මැද පෙරදිග කලාපයේ ගැටුම් උත්සන්න වීම හේතුවෙන් ඉන්ධන ආනයන වියදම් ඉහළ යාමත්, නව වාහන ආනයනය සඳහා ඩොලර් ඉල්ලුම අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතීමත් නිසාය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් ඇමරිකානු ඩොලර් බිලියන 3ක විස්තීරණ ණය පහසුකමට අදාළ ඉලක්ක සපුරාලීම, විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීම සහ බහුපාර්ශ්වික හා ද්විපාර්ශ්වික ණය ආපසු ගෙවීම සඳහා අවශ්‍ය හැකියාව පවත්වාගෙන යාම වෙනුවෙන් මහ බැංකුව වෙළෙඳපොළෙන් ඩොලර් මිලදී ගැනීම අඛණ්ඩව සිදු කරමින් සිටී.
මෙලෙස විදේශ විනිමය සංචිත වේගයෙන් ගොඩනැගීම සිදුවන්නේ 2028 අප්‍රේල් මාසයේ සිට ආරම්භ වීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) හිමියන් වෙත විදේශ ණය ආපසු ගෙවීමේ වැඩසටහනට පෙර සූදානමක් ලෙස සැලකේ.