දේශපාලන උණුසුම් කරගෙන අද තීරණාත්මක දිනයක්? රනිල්ට එරෙහි නඩුව කැඳවයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති නඩුව අද (28) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.
මෙම නඩුව හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ධුරය දැරූ කාලයේදී ඔහුගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදාන උත්සවයකට සහභාගි වීම සඳහා ලන්ඩනයට ගිය ගමනකදී රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට එල්ල වූ චෝදනාවන් මත පදනම් වේ. එම ගමන සඳහා රුපියල් මිලියන 16.6කට අධික මුදලක් පාඩු වූ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
2025 අගෝස්තු 22 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දුන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණි. එදිනම ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග විය. පසුව ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තා සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය විසින් රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදා හැරීමට තීරණය කළ අතර, නඩුව 2025 ඔක්තෝබර් 29 වැනිදා යළි කැඳවීමට නියම කෙරිණි.
එම දිනයේ නඩුව කැඳවූ අවස්ථාවේදී කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර මහතා විමර්ශන කඩිනමින් අවසන් කර, සැකකරුවන් සිටී නම් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
එසේම පෙර නඩු දිනයේ අධිකරණය ආශ්‍රිත සිදුවීම් සම්බන්ධයෙන් අධිකරණයට අපහාසයක් සිදුවී තිබේදැයි විමර්ශනය කර වගකිව යුතු පුද්ගලයින් හඳුනාගෙන ක්‍රියාමාර්ග ගැන මීළඟ නඩු දිනයේ වාර්තා කරන ලෙසද නියෝග කෙරිණි.
ඒ අනුව විමර්ශන 2026 ජනවාරි 28 වැනිදා වන විට අවසන් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබූ අතර, අද එම දිනයට නඩුව යළි කැඳවෙයි. මෙම නඩුවේ ප්‍රගතිය සහ විමර්ශන වාර්තා අද අධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.