එක් ආසාදිතයෙක් හමුවීම නිසා නගරයක් ලොක්ඩවුන්

Australia Sri lanka covid 19
By Sithumi Aug 12, 2021 04:33 PM GMT
Sithumi

Sithumi

Report

ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනුවර අද (12) සිට සතියක කාලයක් සඳහා හදිසියේ ලොක්ඩවුන් කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කළේය. ලක්ෂ 4 ක ජනගහනයක් වෙසෙන කැන්බරා අගනුවර හිටිහැටියේ මෙසේ ලොක්ඩවුන් කෙරුණේ එක් 'කොවිඩ් 19' ආසාදිතයකු හමුවුණු බැවිනි.

කැන්බරා අගනුවරින් මෙසේ 'කොවිඩ් 19' ආසාදිතයකු හමුවූයේ වසරකට පමණ පසුව යැයි ඕස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ. හමුවුණු ආසාදිතයා තරුණයකු යැයි පැවැසෙයි. ඔහුට වයිරසය ආසාදනය වූයේ කෙසේදැයි යන්න නිවැරදිව තහවුරු කර ගැනීමට නොහැකි වූ බැවින්, සතියක් අගනුවර එසැණින් වසා දැමීමට සෞඛ්‍ය අංශ තීරණය කළ අතර නගර බලධාරීන්ගේ අනුමැතිය ඊට හිමිවිය. නගරය හදිසියේ ලොක්ඩවුන් කරන බව නිවේදනය කිරීමත් සමඟ සුපිරි වෙළෙඳසැල් සහ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දකින්න ලැබුණි.

ලොක්ඩවුන් කටයුතු සඳහා හමුදාවේ සහාය පොලිසියට හිමිවන බවත්, හමුදා සොල්දාදුවන් 580 දෙනකු ඒ සඳහා යෙදවූ බවත් කැන්බරා බලධාරීහු පවසති. මේ වනවිටත් ඕස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි සහ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් යන නගර මුළුමනින්ම ලොක්ඩවුන් කර ඇත. ඒ, 'ඩෙල්ටා' විකෘතිය ව්‍යාප්තවීමත් සමඟ නව ආසාදිතයන් වාර්තා වන බැවිනි.