බඩ ඇතුළේ මත්ද්‍රව්‍ය හංගන් ගිහින් - මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ආමාශය තුළම පිපිරී බස් රියදුරෙක් ජීවිතක්ෂයට
අයිස් මත්ද්‍රව්‍ය ආමාශය තුළ සඟවාගෙන ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථ රියදුරෙකු, එම මත්ද්‍රව්‍ය පැකට්ටුවක් ආමාශය තුළදීම පිපිරී විෂ වීම හේතුවෙන් මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙසේ මියගොස් ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ තංගල්ල - මාකුඹුර මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී බස් රථයක සේවය කළ, ඕකවෙල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි රියදුරෙක් බව සඳහන්.
වාර්තා වූ ආකාරයට ඉකුත් 8 වැනි දින මාකුඹුරේ සිට තංගල්ල බලා ධාවනය වූ බස් රථය ගමනාන්තය වෙත ළඟා වී සුළු මොහොතකින්ම මෙම රියදුරා හදිසියේම දැඩි ලෙස අසනීප වී තිබෙනවා.
ඒ අනුව වහා ක්‍රියාත්මක වී ඔහුව ප්‍රතිකාර වෙනුවෙන් තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙන අතර, එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
පසුව ඊයේ (9) දින තංගල්ල රෝහලේදී පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ ආමාශය තුළ තිබී මත්ද්‍රව්‍ය අඩංගු පැකට් දෙකක් හමු වූ බවයි.
එමෙන්ම ආමාශයේ තිබූ එම මත්ද්‍රව්‍ය පැකට් දෙකෙන් එකක් කැඩී, එම මත්ද්‍රව්‍ය ශරීර අභ්‍යන්තරයේදී රුධිරයට මුසු වීමෙන් සිදු වූ විෂ වීම මෙම මරණයට හේතුව බවට වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු වී ඇති බව වාර්තා වේ.