තෙල් සොරකම් කළ බවුසරයේ රියදුරු අත්අඩංගුවට
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොන්ත්‍රාත් පදනම මත ධාවනය වන බවුසර් රථයකින් රුපියල් 50,000කට ආසන්න වටිනාකමකින් යුත් ඉන්ධන සොරාගත් එම බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.
සැකකාර රියදුරු සමඟ ඔහු සන්තකයේ තිබූ ඩීසල් ලීටර් 60ක්, පෙට්‍රල් ලීටර් 42ක් සහ භූමිතෙල් ලීටර් 40ක් පොලිස් භාරයට ගෙන ඇත.
මීට අමතරව ඉන්ධන බැහැර කිරීමට යොදාගත් උපකරණ සහ අදාළ ඉන්ධන බවුසර් රථය ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සැකෙවින් ඛනිජ තෙල් සංස්ථාවේ සිට කලවාන ලංකා අයි.ඕ.සී. (LIOC) ඉන්ධන පිරවුම්හල වෙත ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ මෙම බවුසර් රථය, නියමිත කොන්දේසි උල්ලංඝනය කරමින් කඩුවෙල ඉහළ බෝමිරිය ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් තිබේ.
එහිදී රියදුරු විසින් ඉන්ධන හොර රහසේ බැහැර කරන බවට ඛනිජ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී දමින්ද පියදර්ශන කුමාර මහතාට ලැබුණු තොරතුරක් මත ඊයේ (06) කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නවගමුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි. පවතින බලශක්ති අර්බුදය හමුවේ මෙලෙස ඉන්ධන ජාවාරම්වල නිරත වන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන් උපදෙස් දී තිබේ.