පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් පත් කරයි
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන එච්. එම්. ජේ. එම්. හේරත් මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව හේරත් මහතා මේ වන විට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් සහ දිසාපතිවරයා ලෙස සේවය කරනු ලබයි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුර මේ වන විට පුරප්පාඩුව පවතින අතර, එහි රාජකාරි කටයුතු වැඩ බැලීමේ පදනම මත මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක විසින් සිදු කරනු ලැබීය.
දෙපාර්තමේන්තුවේ දෛනික කාර්යභාරය සහ අත්‍යවශ්‍ය කටයුතු මෙන්ම, ශ්‍රී ලංකා අනන්‍යතා ඩිජිටල් හැඳුනුම්පත (SL-UID) නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව සලකා මෙම තනතුර සඳහා නිත්‍ය පදනමින් නිලධාරියෙකු පත් කිරීම අත්‍යවශ්‍ය බව රජය හඳුනාගෙන ඇත.
ඒ අනුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ මෙම පත්වීම් යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
නව පත්වීමත් සමඟ මෙරට ඩිජිටල්කරණ වැඩපිළිවෙළේ තීරණාත්මක පියවරක් වන ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය වඩාත් කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාමට හැකි වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.